August 3, 2026

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට බන්ධනාගාරවල පවතින අධික තදබදය ද යම් තාක් දුරට හේතු වන්නට ඇති වුවද මේ පිටුපස යම් සංවිධානාත්මක බාහිර මැදිහත්වීමක් තිබේද යන්න පිළිබඳ විමර්ශන පවත්වන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ගැටුම ප්‍රධාන වශයෙන්ම රැඳවියන් සහ බන්ධනාගාර පාලනාධිකාරිය අතර ඇති වූවක් බවයි.

කෙසේවෙතත්, ප්‍රචණ්ඩත්වය ඇවිලවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගේ යම් බලපෑමක් තිබේදැයි රජය විශේෂ අවධානයෙන් පරීක්ෂා කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය මගින් දැනට ක්‍රියාත්මක කරගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් හේතුවෙන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගැලීම විශාල ලෙස පාලනය වී ඇති බවත්, මෙම නොසන්සුන්තාවට එයද එක් ප්‍රධාන හේතුවක් වන්නට ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බන්ධනාගාරවල පවතින අධික තදබදය බරපතළ ගැටලුවක් බව පිළිගත් අමාත්‍යවරයා, එය මෙවැනි සිදුවීම් සඳහා එකම හේතුව නොවන බවද පැවසීය.

එම තදබදය අවම කිරීම සඳහා බන්ධනාගාර ධාරිතාව ඉහළ නැංවීමටත්, රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ඇතැම් චෝදනාවලට අදාළ ඇප ක්‍රියාපටිපාටිය වේගවත් කිරීම ඇතුළු නීතිමය සංශෝධන හඳුන්වා දීමටත් රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දැනට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා රැඳවියන් 23,000කට ආසන්න සංඛ්‍යාවක් බන්ධනාගාරගතව සිටින බව අනාවරණ කළ අමාත්‍යවරයා, මෙම ගැටලුව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් තනිව විසඳිය නොහැකි බව අවධාරණය කළේය.

“නීතිය මගින් මත්ද්‍රව්‍ය සැපයුම පාලනය කිරීමට අපට පුළුවන්. නමුත් ඊට ඇති ඉල්ලුමද අඩු කළ යුතුයි. ඒ සඳහා පුළුල් සාමාජීය යහපත් ප්‍රවේශයක් අවශ්‍යයි,” යනුවෙන් පැවසූ අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය භාවිතය ඇතැම් සමාජ කොටස් අතර දැඩි ලෙස මුල් බැසගෙන ඇති බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම, මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවට සම්බන්ධ බවට සැකකෙරෙන රැඳවියන් මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව විනය පියවර ගන්නා අතරම, බන්ධනාගාරයෙන් පිටත සිට ප්‍රචණ්ඩත්වය මෙහෙයවීමට යම් සංවිධානාත්මක උත්සාහයක් තිබුණේද යන්න පිළිබඳවද බලධාරීන් පරීක්ෂා කරමින් සිටී.

“මෙවැනි සිදුවීම් කිසිදු හේතුවක් නොමැතිව මෙලෙස හදිසියේ ඇති වන්නේ නැහැ. අන්න ඒ නිසයි සංවිධානාත්මක බාහිර මැදිහත්වීමක් තිබේදැයි සොයා බලන ලෙස අප අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේ,” යැයි අමාත්‍යවරයා අවසාන වශයෙන් පැවසීය.