August 3, 2026

මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාවෙන් පසුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණු රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඔවුන්ට නීතිඥ සහාය සහ ස්වාධීන නිරීක්ෂණ සඳහා ඉඩකඩ සැලසීමටත් ස්වාධීන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස රජයට බලපෑම් කරන්නැයි සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) විදේශ තානාපති කාර්යාලවලින් ඉල්ලා සිටියි.

කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, නවසීලන්තය සහ ස්විට්සර්ලන්තය යන රටවල තානාපති කාර්යාල මේ පිළිබඳව දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම්වලින් පසු වැලිකඩ, අඟුණකොළපැලැස්ස, පල්ලේකැලේ සහ බූස්ස ඇතුළු බන්ධනාගාර වෙත මාරු කරන ලද රැඳවියන් දැඩි හිංසනයට ලක්වන බව නීතිඥයෝ පෙන්වා දෙති.

අධිකරණය මගින් ඇප හිමිවූ රැඳවියන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් අදාළ ඇප ලේඛන කටයුතු නිම කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් නොකිරීමෙන් ඔවුන්ගේ ඇප අයිතිය අහිමි කර ඇති බවත්, සාක්ෂි මර්දනය සඳහා මෙලෙස කටයුතු කරන බවටත් කමිටුව චෝදනා කරයි.

එමෙන්ම වෙනිසියුලානු ජාතිකයකු ඇතුළු මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු අතුරුදහන් වීම පිළිබඳවද තානාපති කාර්යාල වෙත තොරතුරු වාර්තා කර ඇත.

බන්ධනාගාර පද්ධතියේ පවතින බරපතළ තදබදය පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා සඳහන් කළේ, බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවිය හැකි උපරිම ධාරිතාව 11,000 – 12,000 අතර වුවද, මේ වන විට වරදකරුවන් 10,000කට වැඩි පිරිසක් සහ සැකකරුවන් 30,000කට අධික සංඛ්‍යාවක් රඳවා සිටින බවයි.

මීගමුව බන්ධනාගාරයේදී මියගිය සැකකරුවන් 22 දෙනාගේ පවුල් සඳහා වන්දි ගෙවීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බව පවසන සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය, මෙම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ජාතික හා අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කරුණු දක්වන ලෙස විදේශ දූත මණ්ඩලවලින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

(The Island )