August 3, 2026

පසුගියදා පැවැති කොළඹ සාහිත්‍ය උත්සවයට (Colombo Literary Festival) සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ප්‍රකට ඉන්දියානු ලේඛකයකු මෙන්ම එරට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශෂී තරූර්, සිය සංචාරය අතරතුරදී ලංකාවේ සිටින තමන්ගේ පැරණි හිතමිතුරන් කිහිපදෙනකුම හමුවීමට අමතක කළේ නැහැ.

ඔහු මෙලෙස විශේෂයෙන්ම හමුවී තිබෙන්නේ මෙරට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් තරූර් පැවසුවේ, මහින්ද රාජපක්ෂ අගමැතිවරයෙකුව සිටි සමයේ (එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ප්‍රථම වරට ඔහුව හමුවූ අතීතය මතක් වූ බවයි. එම පැරණි හඳුනාගැනීම නැවත අලුත් කරගනිමින් ඔහුට ගෞරව දැක්වීමට ලැබීම සතුටක් බවද ඔහු එහි සටහන් කර තිබුණා.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගද විශේෂ හමුවක් පැවැත්වූ ශෂී තරූර්, රනිල් වෙනුවෙන්ද දීර්ඝ සටහනක් එක් කර තිබුණා:

“මෑත කාලයේදී ඔහු සිය රට වෙනුවෙන් කළ කැපකිරීම් සහ සේවාවන් වර්තමාන දේශපාලන පරිවර්තනයන් හමුවේ යටපත් වී ගියද, වර්තමාන දේශපාලන විනිශ්චයන්ට වඩා අනාගත ඉතිහාසය ඔහු කෙරෙහි සාධාරණ වනු ඇතැයි මම විශ්වාස කරමි. වසර දෙකකට ආසන්න කාලයක සිට මම ඔහුගේ මිතුදම භුක්ති විඳින අතර, ඔහුගේ හදවත තුළ සැබවින්ම සිය රට සහ මුළු කලාපය කෙරෙහිම යහපත් අභිලාෂයන් පවතින බව මම විශ්වාස කරමි.”

සාහිත්‍ය උත්සවයකට පැමිණියද, ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත දෙකක් හමුවී ඔවුන් සමග පැවැති අතීත මිතුදම සහ මතකයන් අලුත් කරගැනීමට තරූර් මහතා කටයුතු කිරීම දේශපාලන ක්ෂේත්‍රයේද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ මාතෘකාවක් බවට පත්වුණා.