August 2, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 වසරට අදාළ මූල්‍ය ප්‍රකාශන සහ නීතිමය පූර්වාපේක්ෂාවන් පිළිබඳ සිදුකළ නවතම විගණන පරීක්ෂණයකින්, එහි ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක පාරදෘශ්‍යභාවය, තරගකාරීත්වය සහ නීතිමය ගැටලු සම්බන්ධයෙන් බරපතල අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබේ.

ඒ අනුව, ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය ප්‍රතිස්ථාපනය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 1.705ක් වුවද, එයට වඩා රුපියල් මිලියන 276ක් වැඩියෙන්, එනම් රුපියල් බිලියන 1.981ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති බව විගණනයේදී හෙළිව ඇත. මේ සඳහා ඉදිරිපත්ව ඇත්තේ එක් ලංසුකරුවෙකු පමණක් වන අතර, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් මගින් සිදුකළ යුතු ක්‍රියාවලිය වෙනුවට, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගෙන්ම සමන්විත ප්‍රසම්පාදන කමිටුවක් හරහා මෙම ටෙන්ඩරය පිරිනමා තිබීම විගණනයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. එමෙන්ම අන්තර්ජාතික ලංසු කැඳවීමවෙනුවට ජාතික මට්ටමේ ලංසු කැඳවීම සිදුකිරීම තුළින් ආයතනයට හිමිවිය හැකිව තිබූ මූල්‍ය වාසි අහිමි වී ඇති බවද පෙන්වාදෙයි.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් මිලියන 50.83ක සංවර්ධන ව්‍යාපෘතියේදී තාක්ෂණික ඇගයීම් කමිටු සභාපතිවරයාම ව්‍යාපෘති උපදේශක ලෙස කටයුතු කිරීම මගින් බරපතල අභිලාෂයන් අතර ගැටුමක් (Conflict of Interest) නිර්මාණය වී ඇති බව විගණනය සඳහන් කරයි.

මීට අමතරව, ව්‍යවස්ථා සංශෝධන හා නීති උපදේශන වෙනුවෙන් නීතිඥයින් 04 දෙනෙකුට රුපියල් මිලියන 12.46ක් ගෙවා තිබුණද, එම තේරීම් ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීමට අදාළ ලේඛන විගණනයට ඉදිරිපත් කර නොමැත.

තවද, රුපියල් මිලියන 165ක වියදමින් ආයතනික සැලැස්මක් සකස් කිරීමේ ව්‍යාපෘතිය මාස 6ක් ඇතුළත නිම කිරීමට තිබුණද එය අසම්පූර්ණව පැවතීම, කමිටු සාමාජිකයින්ට නියමිත සීමාවන් ඉක්මවා රුපියල් මිලියන 8.023ක දීමනා ගෙවීම සහ 2023 හා 2024 වසරවල ක්‍රීඩකයන් හා උපදේශකයන්ට ගෙවූ රුපියල් බිලියන 3.2කට අධික මුදලින් උපයා විට ගෙවීමේ බදු කපානොහැරීම වැනි කරුණු රැසක්ද මෙම විගණන වාර්තාව මගින් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.