August 2, 2026

ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට නීතිපති පාරින්ද රණසිංහ සහතික කර තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා සිය නිල අනුමැතිය නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත යොමු කළ බවද නීතිපතිවරයා වැඩිදුරටත් තහවුරු කර ඇත.

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අරමුණින් මෙම යෝජනාව පසුගිය 27 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත විය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා විශේෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීමට නියමිතය.

එමෙන්ම, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ ඇතුළු සෙසු පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම උදෙසා පවත්නා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අදාළ කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතය.