August 2, 2026

බන්ධනාගාර පද්ධතියට තාවකාලික විසඳුම් හෙවත් ‘පැලැස්තර’ යෙදීම වහා නතර කර, සමස්ත පද්ධතියම විධිමත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

ඔහුගේ නිල X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, දිවයිනේ බන්ධනාගාර තුළ නැවතත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවත්, මෙවර ඉන් කොපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි වේද යන්න ගැටලුසහගත බවත්ය.

සති කිහිපයක් ඇතුළත බන්ධනාගාරයක් තුළ වාර්තා වූ දෙවැනි ප්‍රධාන නොසන්සුන්තාවය මෙය බව පෙන්වාදෙන නාමල් රාජපක්ෂ, මේවා තවදුරටත් තනි තනි හුදකලා සිදුවීම් ලෙස බැහැර කළ නොහැකි බව සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයන් අයහපත් කළමනාකරණය, නොසැලකිලිමත්කම, නිසි නායකත්වයක් නොමැතිවීම සහ දැඩි පීඩනයකට ලක්ව ඇති බන්ධනාගාර පද්ධතියක සෘජු ප්‍රතිඵලයක් බව මන්ත්‍රීවරයා චෝදනා කරයි.

එමෙන්ම මෙවැනි පාලනය කරගත නොහැකි විශාල අර්බුදයක් නිර්මාණය වී තිබියදී පවා, අදටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කර නොමැති බවත්, මෙතරම් තීරණාත්මක තනතුරක් සඳහා නිසි සුදුසුකම් සහිත අයෙකු පත්කිරීමට අපොහොසත් වීම කණගාටුදායක බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

බන්ධනාගාර ආරක්ෂාවට අමතර බලඇණි යෙදවීමෙන් යම් දිනකට තත්ත්වය පාලනය කරගත හැකි වුවද, එමගින් මූලික ගැටලුව නිරාකරණය නොවන බව පවසන නාමල් රාජපක්ෂ, බන්ධනාගාරවල පවතින අධික තදබදය, ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම, අසතුටුදායක සෞඛ්‍ය සේවා සහ අර්ථවත් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් නොමැතිකම කෙරෙහි රජයේ අවධානය වහා යොමුවිය යුතු බවද අවධාරණය කරයි.

“සිරදඬුවමකින් පුද්ගලයෙකුගේ නිදහස අහිමි වන නමුත්, ඔහුගේ මානව ගරුත්වය අහිමි නොවේ” යැයි මතක් කර දෙන නාමල් රාජපක්ෂ මහතා, ආයතනික වශයෙන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට වහා පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.