August 2, 2026

ඉරානය සමඟ වහාම ගිවිසුමකට එළඹීමට හැකි වන්නේ නම්, එම රටට එරෙහිව කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අවලංගු කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම ඇතුළත් වේගවත් ගිවිසුමකට එළැඹීමේ කොන්දේසියට යටත්ව, ප්‍රහාරය අවලංගු කිරීමට තමා තීරණය කළ බවයි.

ඊශ්‍රායලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඇමෙරිකාව සති අන්තයේදී ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවට ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ මෙම නිවේදනය නිකුත් විය.

ඇමෙරිකාව මැද පෙරදිග කලාපය තුළ ගැටුම් ඇති කරන බවට මීට පෙර චෝදනා කළ ඉරාන පාලනය කියා සිටියේ, ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ඕනෑම කලාපීය රාජ්‍යයක් යුද්ධයේ ගිනි ජාලාවලින් විනාශ වන බවයි.

කෙසේවෙතත් ට්‍රම්ප් පවසා ඇත්තේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙතෙක් දැක නොමැති මට්ටමේ බියකරු හමුදාමය බලයක් සහ ශක්තියක් සහිතව ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව ක්‍රියාත්මක වීමට ඇමෙරිකාව සියලු සූදානමින් පසුවන බවයි.