July 24, 2026

රටේ ජනතාවගේ ජීවන වියදම දිනෙන් දින ඉහළ ගොස් තිබුණ ද කිසිඳු පාර්ශවයකින් ඒ සඳහා විසඳුමක් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ ඒ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා පිළිතුරක් ලබාදීම වෙනුවට මහ බැංකුව සිදු පවසන්නේ උද්ධමනය පාලනය කිරීම පමණක් බවයි.

ජනතාවට වැදගත් වන්නේ ඔවුන්ගේ ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීම් නොව ජීවන වියදම පාලනය කිරීම බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

”දැන් මහ බැංකුව කාර්තු 06 ක් උද්ධමනය අඩුවෙලා තිබුණා කියලා කියනවා. ඒ කියන්නේ ඍණ ආර්ථිකයකට ගෙනිච්චා කියලා කියනවා. මේ ගිය කාර්තුවේ විතරයි කියන්නේ සියයට 6.9 ක වැඩි වුණා කියලා. ඉතිං එහෙම වෙනවා නම් අඩුවුන වෙලාවේ ඇයි ජීවන වියදම අඩු නොවුනේ. දැන් අපිට කියන්න හදාවි ආර්ථික විද්‍යාව අනුව මේ උද්ධමනය වැඩිවීමේ ප්‍රවණතාව කියලා. අපට ඒවා කියන්න අවශ්‍ය නෑ. අපි දන්නවා. මේ අහිංසක ජනතාව ආර්ථික විද්‍යාව තුළින් නෙමෙයි ජීවත් වන්නේ. ඔවුන් ලැබෙන පඩිය කොහොමද මාසෙ ජීවත් වන්නේ කියන ඒ ආර්ථික විද්‍යාව තුළින් තමයි ඔවුන් ජීවත් වන්නේ. ඒකට උත්තරක් දෙන්නේ කොහොමද මේ මහ බැංකුව. අපි නිරන්තරයෙන් අහන ප්‍රශ්නවලට මහ බැංකුව උත්තර දුන්නා නම් ජනතාව ඊට පසුව කියාවි ස්වාධීන වීමේ වටිනාකම තියෙනවද නැද්ද කියලා.” යනුවෙන් ඔහු පැවසුවේය.