July 26, 2026

මෙරට දෙමළ භාෂාව කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දෙමළ කතාකරන දේශපාලන පක්ෂ හයක් එක්ව ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ හමුවකින් අනතුරුව ලිපියක් යොමු කරමින් මෙම පක්ෂ සමූහය මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

මෙම ඒකාබද්ධ ඉල්ලීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC), සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) යන දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් අත්සන් තබා ඇත:

තම පක්ෂවල අනන්‍යතාවන් සහ දේශපාලන ප්‍රතිපත්ති වෙන වෙනම පවත්වාගෙන යන අතරතුර, දෙමළ කතාකරන ජනතාවගේ අයිතිවාසිකම්, ඉඩම් ගැටලු, පළාත් සභා මැතිවරණය සහ ජාතික වැදගත්කමකින් යුත් පොදු කරුණු වෙනුවෙන් පොදු වේදිකාවක සිට එකඟතාවයෙන් කටයුතු කිරීමට මෙම පක්ෂ පසුගියදා තීරණය කළේය.

ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවද හමුවී මෙම පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට අදාළ පක්ෂ නියෝජිතයන් සැලසුම් කර ඇත.