July 25, 2026

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(e) වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමට අදාළ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2026 ජූලි 24 දිනැති අංක 2498/76 දැක්වෙන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, 2021 නොවැම්බර් 24 දිනැති අංක 2255/24 දැක්වෙන ගැසට් නිවේදනයේ සඳහන්ව තිබූ අංක 4 දරන මාර්ගෝපදේශය අහෝසි කර නව මාර්ගෝපදේශයක් ආදේශ කර ඇත.

නව සංශෝධිත මාර්ගෝපදේශයට අනුව, ජනාධිපති නීතිඥවරයකු ලෙස පත්කිරීමට සුදුසුකම් ලැබීම සඳහා අදාළ නීතිඥවරයා හෝ නීතිඥවරිය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු ලෙස අවම වශයෙන් වසර 20 ක කාලයක් ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වේ.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායකගේ අත්සනින් යුතුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ අතර, 2026 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත්කිරීමට අදාළව අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනයද ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අනුව සුදුසුකම් ලත් නීතිඥවරුන්ට 2026 අගෝස්තු 31 වැනි දින හෝ ඊට පෙර සිය අයැදුම්පත් යොමුකළ හැකිය.