July 11, 2026

චීනයේ පැවැත්වෙන මලල ක්‍රීඩා ශූරතාවලියකදී වසර 26ක් පැරණි ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා වාර්තාවක් බිඳහෙළීමට ශ්‍රී ලංකාවේ නැඟී එන මලල ක්‍රීඩා තරුවක් වන අයෝමාල් අකලංක සමත්ව තිබේ.

චීනයේ ඕර්ඩොස් නුවර පැවැත්වෙන සමාරම්භක ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර 400 කඩුලු පැනීමේ ඉසව්වට සහභාගී වූ මෙම තරුණ ක්‍රීඩකයා, තත්පර 49.03ක විශිෂ්ට කාලයක් සනිටුහන් කරමින් රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.

ඔහුගේ මෙම දක්ෂතාවයත් සමඟ මීට දශක දෙකකට පෙර, එනම් 2000 අගෝස්තු 31 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හරිජන් රත්නායක විසින් තත්පර 49.44 ක කාලයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ පැරණි ජාතික වාර්තාව ඉතිහාසයට එකතු විය.

ප්‍රවීණ පුහුණුකරු අනුර බණ්ඩාර යටතේ පුහුණුව ලබන අකලංක, පැරණි වාර්තාවට වඩා තත්පර 0.41ක සැලකිය යුතු පෙරමුණක් ගනිමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීම සුවිශේෂී වේ.

මෙම අතිවිශිෂ්ට දක්ෂතාවයත් සමඟ ඔහු මේ වන විට ශ්‍රී ලංකා යොවුන්, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ තුනේම ජාතික වාර්තාවලට හිමිකම් කියන අතර, එය තනි ක්‍රීඩකයෙකු ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

එමෙන්ම, මෙම රිදී පදක්කම ආසියානු U23 මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම ද වන බැවින් එය මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මීට පෙර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී තත්පර 49.90ක කාලයක් වාර්තා කරමින්, තත්පර 50ට අඩුවෙන් මීටර 400 කඩුලු පැනීමේ ඉසව්ව නිමා කළ පළමු ශ්‍රී ලාංකික කනිෂ්ඨ ක්‍රීඩකයා වෙමින් අකලංක ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව සිටියේය.