July 11, 2026

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ සිල්ලර පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය තහනම් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම, අමාත්‍ය මණ්ඩලය විසින් දෙවැනි වරටත් නිර්දේශ ඉල්ලා සිටීම හේතුවෙන් ප්‍රමාද වී තිබේ.

කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව නැවත වරක් පොල් සංවර්ධන අධිකාරියෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් වාර්තා කැඳවා ඇත.

මීට වසරකට පෙර ගන්නා ලද මෙම තීරණයට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කර තිබුණ ද, මෙලෙස ප්‍රමාද වීමට බලපා ඇත්තේ පෝෂණවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් පෙන්වාදෙන ලද කරුණකි.

ඔවුන් පෙන්වා දෙන්නේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් පොල්තෙල් පමණක් නොව, වෙළෙඳපොළේ ඇති ‘ආහාරයට ගන්නා සියලුම තෙල් වර්ග’ සිල්ලරට විකිණීම තහනම් කළ යුතු බවයි.

කෙසේවෙතත්, මේ වන විට අදාළ නිර්දේශ දෙවැනි වරටත් යොමුකර ඇති බැවින්, සිල්ලර පොල්තෙල් අලෙවිය තහනම් කිරීමේ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග තහවුරු කර තිබේ.

මෙම පියවරේ මූලික අරමුණ වන්නේ වෙළෙඳපොළේ සිදුවන කලවම් පොල්තෙල් අලෙවිය සම්පූර්ණයෙන්ම වැළැක්වීමයි.

කලවම් තෙල් නතර කිරීමේ මෙම තීරණය දේශීය කර්මාන්තකරුවන් ලෙස අගය කරන නමුත්, එහිදී මතුවිය හැකි බරපතළ ප්‍රායෝගික ගැටලුවක් පිළිබඳව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය රජයට අනතුරු ඇඟවීමක් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම නව නීතිය දේශීය නිෂ්පාදනවලට මෙන්ම ‘ආනයනික පොල්තෙල් සඳහා ද එකසේ අදාළ වියයුතු’ බවයි.

“මෙරට පරිභෝජනය කරන පොල්තෙල්වලින් 25%ක් වැනි සුළු ප්‍රමාණයක් විතරයි දේශීයව නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 75%ම වෙනත් ආනයනික තෙල් වර්ග. ඒවා වෙළෙඳපොළට එන්නේ ‘පොල්තෙල්’ සන්නාමය යටතේයි. මේ නීතියෙන් ආනයනික තෙල් වර්ග ඇසුරුම්කරණයට ලක් නොවුණහොත් දේශීය කර්මාන්තය බරපතළ කඩාවැටීමකට ලක්වෙනවා” යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.