July 4, 2026

බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී (Nation Lanka Finance PLC) ආයතනයේ පරිපාලකවරයාගේ ධුර කාලය 2026 ජූලි 4 වැනිදා සිට 2027 ජනවාරි 3 වැනිදා දක්වා තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

පරිපාලක පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රොද්‍රිගු ප්‍රථම වරට 2025 ජූලි මාසයේදී පත්කරන ලද අතර, ඔහුගේ ධුර කාලය මීට පෙර 2026 ජූලි දක්වා දීර්ඝ කර තිබිණි.

මහබැංකුව සඳහන් කළේ මෙම සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු අඛණ්ඩව සහ සාර්ථකව ඉදිරියට කරගෙන යාම සහතික කිරීම සඳහා මෙම ධුර කාලය දීර්ඝ කළ බවයි.

මෙලෙස දීර්ඝ කරන ලද කාලසීමාව තුළදී ද, පරිපාලකවරයා විසින් අදාළ මූල්‍ය සමාගමේ වත්කම්, මෙහෙයුම් කටයුතු සහ කළමනාකාරීත්වය කෙරෙහි පූර්ණ පාලනය තබාගනු ලබන අතර, නීතිමය අවශ්‍යතාවලට අනුකූලව මහබැංකුව වෙත වාර්තා කිරීම ද අඛණ්ඩව සිදුකරනු ඇත.

ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අධිකාරිය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම මෙම පියවරෙහි අරමුණ බවයි.

එමෙන්ම, නිල බැංකු ගිණුම් හරහා සමාගම වෙත පැවරී ඇති මූල්‍ය බැඳීම් අඛණ්ඩව ඉටු කරන ලෙසත්, මෙම ක්‍රියාවලිය සඳහා සහයෝගය දක්වන ලෙසත් සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියි.