July 4, 2026

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය තුළට නීතිවිරෝධී ලෙස ඇතුළු වී, අනවසරයෙන් මොණර බිත්තර 3ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් අනූ පන්දහසක (95,000) බරපතළ දඩ මුදලක් නියම කර තිබේ.

පොළොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටළීමකදී පසුගිය ජුනි 25 වැනිදා මෙම සැකකරුවාව අත්අඩංගුවට ගෙන තිබිණි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු (ජූලි 02) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම කර තිබේ.

වනජීවී අඩවි සහකාර ආර්. ආර්. ශාන්ත සහ වනජීවී ක්ෂේත්‍ර සහකාර එස්. පී. එස්. පී. ප්‍රේමරත්න ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටළීම සිදුකර තිබේ.

වනජීවී ආඥාපනතට අනුව ජාතික උද්‍යානවලට අනවසරයෙන් ඇතුළුවීම සහ වනසතුන්ගේ බිත්තර හෝ කොටස් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.