July 4, 2026

බලපත්‍රලාභී ස්පා ආයතන වෙත පොලිසිය විසින් සිදුකරන බව කියන හිරිහැර කිරීම්වලට එරෙහිව සහ මෑතකදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ස්පා සංගමය, පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

සේවිකාවන්ට සහ මෙම කර්මාන්තයට සිදුවන සැලකිලි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, තම සංගමයේ සාමාජික ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් මෙලෙස කටයුතු කර ඇති බව එම සංගමය චෝදනා කරයි.

“අපේ සංගමයේ නිලධාරීන්ගේ ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. එක් ආයතනයක් ගින්නකින් විනාශ වී ඇති අතර, වත්තල ප්‍රදේශයේ පිහිටි වැඩබලන සභාපතිවරයාගේ ස්පා ආයතනයට ද ගිනිතබා තිබෙනවා. මේවා පළිලිගැනීමේ චේතනාවෙන් සිදුකළ ක්‍රියාවන් බවට අපට දැඩි සැකයක් පවතිනවා,” යැයි සංගමයේ නියෝජිතයකු පැවසීය.

මෙම සිදුවීම් රජයට බලපෑම් කිරීමේ අරමුණින් සිදුකළ ඒවාද යන්න පිළිබඳවද ඔහු එහිදී ප්‍රශ්න කළේය.

සංගමයේ නියෝජිතයකු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍ර සහිතව සහ සුදුසුකම් ලත් චිකිත්සකයන් සේවයේ යොදවමින් පවත්වාගෙන යන ස්පා ආයතන කිහිපයකට පොලිසිය විසින් මෙලෙස පියවර ගෙන ඇති අතර, එමඟින් ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවයි.

“පොලිසිය ඔවුන්ගේ බලතල නීතිවිරෝධී ලෙස භාවිත කරමින් සිටින නිසා බලපත්‍රලාභී ආයතනවලට තම කටයුතු කරගෙන යාමට නොහැකි වී තිබෙනවා. සංචාරක අමාත්‍යාංශයේ බලපත්‍ර සහ සහතික ලත් චිකිත්සකයින් සිටියදීත් අපට ව්‍යාපාර කරගෙන යාමට නොහැකි නම්, අප කුමක් කළ යුතුද?” යැයි එම නියෝජිතයා ප්‍රශ්න කළේය.

නීතිවිරෝධී ක්‍රියාවන්ට තමන් සහාය නොදක්වන බවත් ඒවා ආරක්ෂා නොකරන බවත් අවධාරණය කළ ස්පා සංගමය, බලපත්‍රලාභී ආයතනවල කටයුතුවලට බාධා කරනු වෙනුවට ඒවා නියාමනය කර ආරක්ෂාව සපයන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.