July 1, 2026

තායිවානය සමඟ පවතින සබඳතා අධෛර්යමත් කිරීම සඳහා චීනය විසින් ඇමරිකානු ප්‍රාන්ත රජයන් සහ පෞද්ගලික සමාගම් සම්බන්ධ කර ගනිමින් සිටින බවත්, එහිදී ඔවුන් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වැරදි ලෙස අර්ථ දක්වන බවත් ඇමරිකානු දෙපාර්තමේන්තු තුනක් එක්ව නිකුත් කළ ඒකාබද්ධ ලිපි මඟින් පවසා තිබේ.

කෙසේ වෙතත්, එවැනි බලපෑම් මධ්‍යයේ වුවද තායිවානය සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කළ යුතු බව එම ලිපි මඟින් අවධාරණය කෙරේ.

ඇමරිකාව සහ තායිවානය අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති වුවද, තායිවානයේ ප්‍රධානතම ජාත්‍යන්තර හිතවතා සහ අවි ආයුධ සපයන්නා වන්නේ ඇමරිකාවයි.

ස්වයං පාලනයක් සහිත තායිවානය තමන්ගේම භූමියක් ලෙස හිමිකම් කියන බීජිං පාලනය ඇමරිකාවේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පසුවන්නේ දැඩි කෝපයකිනි.

ඇමරිකානු රාජ්‍ය, කෘෂිකර්ම සහ වාණිජ යන දෙපාර්තමේන්තු එක්ව මෙම ලිපි දෙක සකස් කර තිබේ.

ඉන් එක් ලිපියක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් වෙත ද, අනෙක් ලිපිය ප්‍රධාන විධායක නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් වෙත ද යොමු කර ඇත.

ජූනි 16 වැනිදා දිනැති මෙම ලිපි, තායිවානයේ පිහිටි ඇමරිකානු නිල නොවන තානාපති කාර්යාලය විසින් පසුගිය බදාදා රාත්‍රියේ ප්‍රසිද්ධියට පත් කරන ලදී.

සමාන අදහස් අඩංගු මෙම ලිපි මඟින් පෙන්වා දෙන්නේ, තායිවානය සමඟ ඇති සබඳතා නැවැත්වීමට බලපෑම් කරමින් චීන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල නිරන්තරයෙන්ම ඇමරිකාවේ පළාත් පාලන ආයතන සහ පෞද්ගලික ව්‍යාපාරික අංශ සම්බන්ධ කර ගන්නා බවයි.

“එලෙස බලපෑම් කිරීමේදී, ඇමරිකානු රජය මීට පෙර තායිවානය සම්බන්ධයෙන් බීජිං පාලනයේ ස්ථාවරය එලෙසින්ම පිළිගෙන තිබූ බවට අසත්‍ය ප්‍රකාශ කරමින්, ඔවුන් ඇමරිකාවේ ප්‍රතිපත්තිය වැරදි ලෙස අර්ථ දක්වනවා,” යැයි එම ලිපි දෙකෙහිම සඳහන් වේ.

යම් හෙයකින් චීන නිලධාරීන් විසින් රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික සමාගම් වෙත මෙලෙස බලපෑම් එල්ල කරන්නේ නම්, වහාම ඒ පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ද එම ලිපි මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.