July 3, 2026

රුවන්වැල්ල, ඉහළ මොරවත්ත ප්‍රදේශයේ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයක (Service Station) සේවය කරමින් සිටි 18 හැවිරිදි තරුණයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුවන්වැල්ල පොලිස් වසමට අයත් මෙම ස්ථානයේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

විදුලි සැර වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ මොරවත්ත, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා වහාම කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වාහන සේවා මධ්‍යස්ථානයේ සිය රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම තරුණයා මෙලෙස විදුලි සැර වැදීමට ලක්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.