July 2, 2026

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කිරීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.

මෙම නව පහසුකම නිල වශයෙන් ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.

එහිදී ඇය විසින් රෙජිස්ට්‍රාර් අංශයේ සහ වාහන ආදායම් බලපත්‍ර අංශයේ POS (Point of Sale) යන්ත්‍ර නිල වශයෙන් විවෘත කරන ලදී.

එමෙන්ම, මෙම නව ක්‍රමය ඔස්සේ උප්පැන්න සහතික සහ වාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද අග්‍රාමාත්‍යවරිය විසින් සංකේතාත්මකව නිරීක්ෂණය කරනු ලැබීය.

ලංකා බැංකුවේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ම ආවරණය කෙරේ.

මේ හරහා ගාස්තු ගෙවිය යුතු සේවාවන් සඳහා මුදල් මත යැපීම අවම කරමින්, කාඩ්පත් මඟින් ආරක්ෂිතව ගෙවීම් සිදු කිරීමට මහජනතාවට අවස්ථාව සැලසේ.

ගෝලීය ඩිජිටල් පරිවර්තනයට අනුකූලව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මෙම ක්‍රමය මඟින් පුරවැසියන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත්, වේගවත් ගනුදෙනු, වංචා අවදානම් අවම වීම සහ ආදායම් එකතු කිරීමේ විනිවිදභාවය ඉහළ නැංවීමටත් හැකි වන බව ඇය සඳහන් කළාය.

මෙම නව POS ගෙවීම් ක්‍රමය මඟින් ප්‍රතිලාභ රැසක් හිමිවන අතර, ඒ අතරට:

* අතේ මුදල් රැගෙන යෑමකින් තොරව ඍජුවම කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුව,
* ගනුදෙනු වේගවත්ව සිදුකිරීම සහ පෝලිම්වල රැඳී සිටින කාලය අවම වීම,
* රජයේ ආදායම් නිවැරදිව වාර්තා වීම හේතුවෙන් විනිවිදභාවය ඉහළ යෑම,
* නවීන ගෙවීම් තාක්ෂණයන් දිරිමත් කරමින් ඩිජිටල් ආර්ථිකයට දායක වීම,

ආදී වාසි රැසක් ඇතුළත් වේ.