July 2, 2026

ශ්‍රී ලංකාව වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා සියලුම ආයතන එකිනෙකට සම්බන්ධීකරණය වූ ඒකාබද්ධ ජාතික සැලැස්මකට අනුව ක්‍රියා කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති “එක්සත් ජාතියක්” ජාතික මෙහෙයුම් සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ අදාළ ජාතික සැලැස්ම යටතේ ඒ ඒ ආයතනවලට පැවරී ඇති වගකීම්, ලබා ඇති ප්‍රගතිය සහ දැනට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් මීළඟ රැස්වීමට ඉදිරිපත් කරන ලෙසයි.

දැනට බන්ධනාගාරගතව සිටින පිරිසෙන් සියයට 70ක් පමණ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. ඒ අනුව බන්ධනාගාර අධික තදබදයට පිළියම් සෙවීමක් වශයෙන්, එම රැඳවියන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර මොනවාද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

එහිදී අනාවරණය වූයේ ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු එවැනි වැඩසටහන් 225ක් මේ වන විටත් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති බවයි.

එසේම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපකුලපතිවරුන් සහ අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, සිසුන් අතර දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම සඳහා ශිෂ්‍ය සංසද පිහිටුවා ඇති බව ද මෙහිදී ප්‍රකාශ විය.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ ස්වභාවය පිළිබඳව රට පුරා සමීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ද රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය.

පාසල්වලින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ පොදු සැලැස්මක් යටතේ ක්‍රියා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන්, අදාළ සියලුම ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් වහාම පිහිටුවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.