July 2, 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳ සිදු කෙරෙන විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කර වෙනත් අංශයකට මාරුකරන ලෙස සැකකරුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (01) ප්‍රතික්ෂේප කළේය.

ඊට අමතරව සැකකාර පාර්ශවය විසින් ඉදිරිපත් කළ තවත් ඉල්ලීම් කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සුරේෂ් සලෙයි සතුව තිබූ ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් යන්ත්‍රයේ මුරපද (Passwords) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස සැකකරුට නියෝග කළේය.

සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කර ඇති බවයි. එම රැඳවුම් නියෝග අභියෝගයට ලක් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුකර හෝ අභියාචනාධිකරණයේ රිට් නඩුකර හරහා පමණක් බැවින්, ඒ සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව විනිසුරුවරයා සඳහන් කළේය. එමෙන්ම CID වාර්තා අනුව මෙම සංකීර්ණ විමර්ශනය ඉතා කාර්යක්ෂමව සිදුවන බව ද අධිකරණය නිරීක්ෂණය කළේය.

පොත්, පෑන් දීමට අවසර නෑ: මින් ඉදිරියට අධිකරණයට ඉදිරිපත් කරන්නේ ස්කයිප් (Video) තාක්ෂණයෙන්

සැකකරුට නිවසින් පුවත්පත්, පොත් සහ පෑන් ලබාදීමට අවසර දෙන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය. සැකකරු ජීවිතය හානි කරගැනීමේ අරමුණින් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව CIDය වාර්තා කර ඇති බැවින්, පෑනක් වැනි ද්‍රව්‍යයක් ලබාදීම අනතුරුදායක විය හැකි බව මහේස්ත්‍රාත්වරයා පැවසීය. එමෙන්ම බාහිරින් පොත්පත් ලබාදීමෙන් විමර්ශන තොරතුරු බාහිර පාර්ශව වෙත ගලා යාමට ඉඩ ඇති බව ද සඳහන් කෙරිණි.

හිටපු බුද්ධි ප්‍රධානියා සුවිශේෂී සැකකරුවෙකු ලෙස සලකා භෞතිකව අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බැවින් මින් ඉදිරියට ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුගේ නීතිඥ ප්‍රවේශය අධීක්ෂණය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව ද මෙහිදී තීන්දු විය. මීට අමතරව මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටින අනෙක් සැකකරුවන් දෙදෙනා නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරිණි.

සලේ දක්ෂ හැකර්වරයෙක්: මුරපද දෙන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල්ගෙන් ඉල්ලීමක්

නඩු විභාගය අතරතුර කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිටියේ, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ වාහනයේ තිබී සොයාගත් ලැප්ටොප් යන්ත්‍රයේ සහ ජංගම දුරකථනයේ මුරපද (Passwords) ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවයි. “මේ සැකකරු පරිගණක පද්ධතිවලට රිංගා තොරතුරු සොරාගැනීමට (Hacking) විශේෂ පුහුණුවක් ලත් දක්ෂ හැකර්වරයෙක්. ඒ නිසා විමර්ශන සඳහා මෙම මුරපද ලබාදීමට නියෝගයක් නිකුත් කරන්න,” යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු ඊට දැඩි විරෝධය පළකරමින් කියා සිටියේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. කෙසේවෙතත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය ප්‍රකාරව විමර්ශනවලට සහාය වීමක් වශයෙන් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලය ඇති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, වහාම අදාළ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස සැකකරුට නියෝග කළේය.

නඩුව නැවත කැඳවීම ලබන සැප්තැම්බර් මස 02 වනදාට නියම කෙරුණු අතර එදිනට සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණි.