June 28, 2026

පසුගිය බ්‍රහස්පතින්දා (25 වැනිදා) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී, කාගේත් අවධානය යොමුනොවුණු අපූරු දේශපාලන හමුවීමක් සිදුවෙලා තියෙනවා. ජනාධිපතිවරයා සභාගැබෙන් පිටතට පැමිණ පාර්ලිමේන්තු කොරිඩෝව දිගේ තමන්ගේ නිල කාර්යාලය දෙසට ගමන් කරමින් සිටි මොහොතේ, මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ සුහද කතාබහක නිරත වීමට අමතක කළේ නැහැ.

මේ අතරතුර, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ශානිකියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාගේ කාර්යබහුල කාලසටහන මැදින් කෙසේ හෝ මිනිත්තු කිහිපයක් වෙන්කරවා ගැනීමට සමත් වුණා.

ඔහු එහිදී ජනාධිපතිවරයා වෙත ගොස් විශේෂ කරුණු දෙකක් ගැන සිය ප්‍රසාදය පළකරලා තියෙනවා. ඒ තමයි, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුවන විමර්ශනවල ප්‍රගතිය සහ යාපනය කෙම්මනි සමූහ මිනීවලේ දැනට සිදුවන කැණීම් කටයුතු.

ශානිකියන් මන්ත්‍රීවරයාගේ මේ අගය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක දීලා තියෙන්නේ ඉතා සරල, හැබැයි ප්‍රබල උත්තරයක්. ජනාධිපතිවරයා ශානිකියන්ගේ උරහිසට තට්ටුවක් දමා පවසා ඇත්තේ මෙන්න මෙහෙම කතාවක්:

“අපි විපක්ෂයේ ඉන්න කාලේ මොනවාද විවේචනය කළේ, අන්න ඒ හැම දෙයක්ම නිවැරදි කරන්න අපි දැඩිව තීරණය කරලා තියෙන්නේ. ඒ හැමදේම අපි එකින් එක (One by one) ක්‍රියාත්මක කරනවා. ඒක ඔයාට නුදුරු අනාගතයේදීම බලාගන්න පුළුවන් වෙයි.”**

ජනපතිවරයා කොරිඩෝවේදී දුන්නු මේ ‘ෂුවර්’ පොරොන්දුවත් එක්ක ඉදිරියේදී දේශපාලන කරළියේ තවත් ලොකු පෙරළි රැසක් සිදුවෙන්න නියමිතයි කියන එක නම් පැහැදිලියි.