June 28, 2026

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර පවතින දරුණු බලඅරගලයක තවත් ලේවැකි පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ප්‍රකට පාතාල කල්ලි නායක ‘ලොකු පැටී’ගේ ප්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන ‘අල්මේදා’ නමැත්තා ඝාතනය කර තිබේ. ඔහුගේ දෑත් සහ දෙපා කොන්ක්‍රීට් කණුවක ගැටගසා ගිං ගඟට දමා තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.

ඉකුත් 23 වැනිදා රාත්‍රියේ පෝද්දල පොලීසිය විසින් ගිං ගඟේ පාවෙමින් තිබූ මෙම අභිරහස් මළ සිරුර සොයාගන්නා විටත්, එහි හිස කොටසට දැඩි ලෙස හානි සිදුකර තිබීම හේතුවෙන් අනන්‍යතාව තහවුරු කරගැනීමට දැඩි බාධා එල්ල වී තිබුණි.

කෙසේවෙතත්, පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මියගොස් සිටින්නේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි විරාජ් රෂ්මික ද සොයිසා නොහොත් ‘අල්මේදා’ (33) නමැත්තා බව අනාවරණය කරගෙන ඇත.

මියගිය පුද්ගලයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ කාන්තාවක විසින් ඔහුගේ සිරුරේ කොටා තිබූ පච්චා සලකුණු මඟින් සිරුර හඳුනාගෙන තිබේ.

අනතුරුව ඔහුගේ මව්පියන් ද දේහය හඳුනාගෙන ඇති අතර, ඔවුන් පොලිසියට පවසා ඇත්තේ වසර හතරක පමණ කාලයක සිට ඔහු තමන් සමඟ කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බවයි.

පොලිස් විමර්ශනවලට අනුව ‘අල්මේදා’ යනු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ලොකු පැටී’ගේ සමීපතම සහ විශ්වාසවන්තම වෙඩික්කරුවා බව පැවැසේ.

වාර්තාවන්ට අනුව ත්‍රිකුණාමලය, අහුංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල ‘ලොකු පැටී’ගේ සෘජු මෙහෙයවීමෙන් සිදුවූ දරුණු ගණයේ මනුෂ්‍ය ඝාතන තුනකදීම ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ මොහුය.

මීට අමතරව, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් සමඟ මීට පෙර අත්අඩංගුවට පත්ව ඇති මොහුට එරෙහිව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ චෝදනා රැසක් පවතී.

පොලිස් අත්අඩංගුවට පත්වීම මඟහරිමින් කාලයක් තිස්සේ සැඟව සිටි ‘අල්මේදා’, ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් වන ‘කරන්දෙණියේ සුද්දා’ගේ පාර්ශ්වයට ද දැඩි තර්ජනයක්ව සිටි පුද්ගලයෙකි. මේ හේතුවෙන් මෙම ඝාතනය පාතාල කල්ලි අතර පැවති පලිගැනීමක ප්‍රතිඵලයක් දැයි සැකකෙරේ.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව සිරුර ගඟට දැමීමට පෙර කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් ඔහුගේ ගෙළ ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය සහ අපරාධ විමර්ශන අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.