June 26, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන්, අධිකරණ ක්‍රියාදාමයන්හිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිසිදු කරුණු දැක්වීමක් සිදු නොකළ බව එම සංගමය පැහැදිලි කර තිබේ.

සිකුරාදා (26) දින නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ, බ්‍රහස්පතින්දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී නීතිඥ සංගමය කරුණු ඉදිරිපත් කළ බවට ඇතැම් ජනමාධ්‍ය වාර්තා මඟින් වැරදි සහගත ලෙස අඟවා ඇති බවයි.

තම සාමාජිකයන් සම්බන්ධ වන මෙවැනි කරුණු වලදී නීතිඥ සංගමයේ භූමිකාව අදාළ අධිකරණ ක්‍රියාදාමයන් නිරීක්ෂණය කිරීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ඒවා සංගමය වෙත වාර්තා කිරීමට පමණක් සීමා වන බව එම සංගමය ප්‍රකාශ කරයි.

එමෙන්ම, මෙම නඩු විභාගයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට තම විධායක කමිටුව විසින් කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති බවත්, අත්අඩංගුවට ගත් නීතිඥවරයා වෙනුවෙන් පෙනීසිටීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.