June 26, 2026

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා මෙම වසර අවසාන වීමට පෙර අලුතින් බස් රථ 600ක් ආනයනය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එම බස් රථ අතරට අධිවේගී මාර්ග සේවා සඳහා වෙන් කළ සුඛෝපභෝගී බස් රථ 200ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය සඳහා සම්මත බස් රථ 400ක් ඇතුළත් වන බව ද වාර්තා වේ. මෙම බස් රථ 600 ලබන දෙසැම්බර් මාසය වන විට දිවයිනට ළඟා වීමට නියමිතය.

මේ අතර, අලුතින් මිලදී ගත් ‘මෙට්‍රෝ’ වර්ගයේ බස් රථ 104ක් මේ වන විටත් මෙරට බලා ප්‍රවාහනය කරමින් පවතින බවත්, ඒවා අගෝස්තු 15 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ළඟා වනු ඇති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

මෙම මෙට්‍රෝ බස් රථ සඳහා කාඩ්පත් මඟින් ගාස්තු අය කෙරෙන නවීන ක්‍රමවේදයක් (Card‑based fare collection systems) සවි කිරීමට නියමිතය. එම පද්ධති සවි කර අත්හදා බැලීම් නිම කිරීමෙන් පසු, සැප්තැම්බර් 20 වැනිදා වන විට මෙම බස් රථ ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇත.

අධිවේගී මාර්ග සහ සාමාන්‍ය මාර්ග දෙකෙහිම පවතින මගී තදබදයට සහනයක් සැලසීම මෙන්ම, ඉහළ තාක්ෂණය සහ මගී පහසුකම් ඔස්සේ ශ්‍රී ලංගම බස් රථ නවීකරණය කිරීම මෙම බස් රථ එක් කිරීමේ ප්‍රධාන අරමුණ බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.