June 26, 2026

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන, සුරංග සංජීව කරුණාරත්න හෙවත් “මැටියා” නමැත්තා ඊයේ (25) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මැලේසියානු ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති අතර, ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ද නිකුත් කර තිබූ බව පොලිසිය පවසයි.

2022 වසරේ ජූලි මාසයේදී ගම්පහ අධිකරණ සංකීර්ණය අසලදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ “පස්පොඩ්ඩා” නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු පැය 72 ක රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.