June 26, 2026

ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර පැවැති මට්ටම දක්වා බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇත.

මැදපෙරදිගින් ලැබෙන තෙල් සැපයුම ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාව, ඉල්ලුම පිළිබඳ පැවැති කනස්සල්ල ඉවත්වීම මීට හේතු වී තිබේ.

ඒ අනුව, අගෝස්තු මාසය සඳහා වන බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 1.06කින් (1.44%) පහත වැටී බැරලයක් ඩොලර් 72.68ක් දක්වා අඩු වූ අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල් මිල සෙන්ට් 76කින් (1.08%) පහත වැටී බැරලයක් ඩොලර් 69.58ක් දක්වා අඩු විය.

මෙම මිල ගණන් පසුගිය පෙබරවාරි 27 වැනිදායින් පසු වාර්තා වූ අවම අගයන් වේ. සැප්තැම්බර් මාසයට වඩා අගෝස්තු මාසයේ මිල අඩු මට්ටමක පැවතීමෙන් කෙටි කාලීන සැපයුම බහුල බව පැහැදිලි වෙයි.

පෙබරවාරි 28 දා ආරම්භ වූ ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය සතියේ ඇති කරගත් මූලික එකඟතාවත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය නැවත ආරම්භ වී ඇත.

ඇමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් ප්‍රකාශ කළේ පසුගිය පැය 24 තුළ බැරල් මිලියන 20ක් පමණ මෙම සමුද්‍ර සන්ධියෙන් පිටවී ඇති බවයි.

කෙසේවෙතත්, එහි අටවා ඇති බෝම්බ ඉවත් කිරීමට අවශ්‍ය බැවින් පූර්ණ යථා තත්ත්වයට පත්වීමට සති කිහිපයක් ගතවනු ඇත.

මීට අමතරව, ඇමෙරිකානු සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමෙන් පසු ඉරානය සිය විකුණුම් ඉහළ නැංවීමට සූදානම් වීම ද මිල පහත වැටීමට බලපා තිබේ.

යුද්ධය නැවත ආරම්භ වුවද ඉරානයට මෙම මුහුදු මාර්ගය වසාදැමිය නොහැකි බව ඇමෙරිකාව පවසයි.

ඉරානය විසින් සමුද්‍ර සේවා ගාස්තු අය කිරීමට සැලසුම් කළත්, එය ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් බැවින් ගාස්තු අය නොකළ යුතු බව ඇමෙරිකාවේ ස්ථාවරයයි.

මේ අතර, තෙල් නැව් පිටවීම පහසු කිරීම සඳහා ඕමානය තාවකාලික මුහුදු මාර්ග විවෘත කර ඇත.

කෙසේවෙතත්, අවසරයකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් නොකරන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය අනතුරු අඟවා ඇති අතර, එම නව මාර්ග ඔවුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.