June 26, 2026

2019 වසරේදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියකට වරදකරුවන් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තවත් විත්තිකරුවකුට දඬුවම් නියම කිරීම බදුල්ල මහාධිකරණය විසින් ජූලි 28 වැනිදා දක්වා කල්තබා ඇත.

බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී මන්ත්‍රීවරයා රැගත් රථ පෙළ පසුකර යාමට පොලිස් ජීප් රථයක් උත්සාහ කිරීමේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව තිබේ.

එහිදී ඇති වූ ගැටුමේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට පහර දී ඇති බවට චෝදනා එල්ල විය.

රාජකාරියට බාධා කිරීම, ස්වේච්ඡාවෙන් තුවාල සිදු කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු බන්දුල රත්නායක සහ හිටපු අමාත්‍ය ආරක්ෂක නිලධාරී රසික කරුණාතිලක යන අය වරදකරුවන් බවට අධිකරණය මීට පෙර තීන්දු කර තිබිණි.

දඬුවම් නියම කිරීම සඳහා නඩුව අද කැඳවූ අවස්ථාවේදී, මෙහි පළමු විත්තිකරු වූ බන්දුල රත්නායක නැමැත්තා ඇති බව අධිකරණයට දැනුම්දෙන ලදී.

ඒ අනුව සෙසු විත්තිකරුවන් සඳහා දඬුවම් නියම කිරීම ජූලි මස 28 වැනිදා දක්වා කල්තැබීමට අධිකරණය පියවර ගත්තේය.