June 25, 2026

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ ප්‍රකාරව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

එම ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණයට කළ දැනුම් දීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව ජුලි මස 07 වනදා ආරම්භ කිරීමට නියම කර තිබූ මෙම නඩුවේ සාක්ෂි විභාග දිනය අවලංගු කරන බවත් විනිසුරුවරිය පැවසීය.

මෙම නඩුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් අනුව විවෘත අධිකරණයේ කැඳවනු ලැබීය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ඉකුත් මැයි මස 29 වනදා කැඳවූ අවස්ථාවේදී එහි ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකු අධිකරණයට කැඳවිය හැකි බවටත් ඔවුන්ට සිතාසි නිකුත් කිරීම අනවශ්‍ය බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබූ බව පැවසුවේය.

එහෙත් එම සාක්ෂිකරුවන්ව සම්බන්ධ කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති නිසා එම ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනා වෙත අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 358 යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරව අධිකරණ අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීමක් කළේය.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද අධිකරණයට පෙන්වා දුන්නේ එම සාක්ෂිකරුවන්ගෙන් එක් අයෙකුට ශ්‍රී ලංකාවේ නඩු පවතින බවත් ඒ නිසා ඔහු අධිකරණයට ගෙන්වා ගැනීමට හැකියාව තිබේදැයි තමන් ද ඉකුත් නඩු දිනයේ පැමිණිල්ලේ අවධානය යොමු කළ බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ” මෙම නඩුකරය පසුගිය මැයි මස 29 වනදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවූ අවස්ථාවේදී ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂියට කැඳවීම සඳහා විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය දැයි අධිකරණය ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම සාක්ෂිකරුවන් තමන් සමඟ සම්බන්ධ වී සිටින බවයි. එම නිසා විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බව බොහොම වගකීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා. ඉන් අනතුරුවයි මෙම නඩුව ජුලි මස 07 වනදා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ. එසේ තිබියදී නඩු විභාගය ආරම්භ වීමට සති දෙකක් පමණ ඉතිරිව තිබියදී අද අධිකරණයට පැමිණ එම සාක්ෂිකරුවන් සම්බන්ධ කර ගත නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාව නිසා පැමිණිල්ල වගේම අධිකරණයත් දැඩි ලෙස අපහසුතාවයට පත්වෙනවා. නඩු විභාගය ප්‍රමාද කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙය කරන තිබෙන බව අධිකරණය නිරීක්‍ෂණය කරනවා.” යනුවෙන් පැවසුවාය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා කියා සිටියේ මෙම සිද්ධිය තුළින් අධිකරණයට යම් අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කනගාටුවක් පළකරන බවය.