June 25, 2026

මෙවර හජ් වන්දනා මෙහෙයුම් කටයුතුවලට අදාළව මතුව ඇති ගැටලු සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගෙන් හමුවක් ඉල්ලා තිබේ.

අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් බදියුදීන් මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ, මෙම සාකච්ඡාව වඩාත් පුළුල් හා සාර්ථක එකක් කරගැනීම සඳහා සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද මේ සඳහා සම්බන්ධ කරගන්නා ලෙසයි.

එමෙන්ම හජ් වන්දනාකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවලට නිසි විසඳුම් සෙවීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන් ද මෙම හමුවට කැඳවන ලෙස ඔහු ඉල්ලා ඇත.

මුස්ලිම් ප්‍රජාවට බලපාන මෙම වැදගත් කරුණ කඩිනමින් විසඳාගැනීම වෙනුවෙන්, ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් දින කිහිපය ඇතුළත මෙම සාකච්ඡාව සංවිධානය කරන ලෙස බදියුදීන් අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.