June 25, 2026

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි 50ක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක්කටා’ යන අය පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහාත්, අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් මෙම අල්ලස ලබා ගෙන ඇතැයි වාර්තා වේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග ද මීට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.