June 25, 2026

ජනතාව විසින් තෝරා පත්කරන ලද මහජන නියෝජිතයෙකු වන චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ජී. කිෂෝර් ධුරයෙන් සහ මන්ත්‍රීකමෙන් නෙරපා හැරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගත් තීරණය, රජය විසින් විරුද්ධ මතධාරීන් නිහඬ කිරීමට සහ පළිගැනීමට රාජ්‍ය බලය බරපතළ ලෙස අවභාවිත කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ අවධාරණය කරන්නේ නිලධාරියෙකුගේ තීරණයක් විවේචනය කළ පළියට මහජන ඡන්දයෙන් පත් වූ නියෝජිතයෙකු සභා සාමාජිකත්වයෙන් පවා ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ජනතා පරමාධිපත්‍යයට නිග්‍රහ කිරීමක් බවයි.

එසේම පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල් දමමින් සිටින වත්මන් රජය, දැන් ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය යාන්ත්‍රණය ලවා තමන්ව විවේචනය කරන පිරිස් බියවැද්දීමේ සහ දඩයම් කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.

උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් විසින් ජූනි 19 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව, විශ්‍රාමික දිස්ත්‍රික් විනිසුරුවරයෙකු කළ විමර්ශනයක් පදනම් කර ගනිමින් නගර සභා ආඥාපනත ප්‍රකාරව චාවකච්චේරි උප සභාපතිවරයා ජූනි 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් නෙරපා හැරීමට කටයුතු කර තිබුණි.