June 16, 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද(16) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකළේය.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම්කර තිබේ.

පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇති බව ජනමාධ්‍ය වාර්තා මඟින් දැනගත් බවයි. වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ තමන් රටින් පිටව යාමේ ඉඩකඩක් පවතින බව පවසමින් මෙම තහනම ලබාගෙන ඇති බවත්, මේ හේතුවෙන් තමන්ගේ පෞද්ගලික නිදහස අහිමි වීමේ හෝ අත්අඩංගුවට පත්වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

අදාළ ත්‍රස්ත ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන ගෝඨාභය රාජපක්ෂ, මේ දක්වා කිසිදු විමර්ශන ආයතනයක් තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බව පවසයි. එසේ වුවද, මෙම විමර්ශනයට අදාළව ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානමින් සිටින බව ඔහු කියා සිටී.

එමෙන්ම, මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් කිසිවෙකු තමන් නොහඳුනන බැවින් ඔවුන්ට බලපෑම් කිරීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට හෝ රඳවාගැනීමට කිසිදු පදනමක් නොමැති බවත් පෙත්සමේ සඳහන් වේ.

දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පළාගොස් සිටින අසාද් මවුලානා නමැත්තා බ්‍රිතාන්‍යයේ ‘චැනල් ෆෝ’ (Channel 4) නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බව පවසන හිටපු ජනාධිපතිවරයා, තමන් කිසිදු අවස්ථාවක අසාද් මවුලානා හමුවී නොමැති බවත් ඔහු සමඟ කිසිදු සබඳතාවක් නොමැති බවත් සඳහන් කරයි.

තවද, තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ කොමිසම මඟින්, වත්මන් CID අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබූ බව පෙත්සම්කරු පෙන්වාදෙයි. මේ හේතුවෙන් වෛරී හෝ ද්වේශසහගත චේතනාවකින් යුතුව කටයුතු කරමින්, මෙම විමර්ශනය ස්වාධීනව මෙහෙයවීමට ශානි අබේසේකරට නොහැකි වනු ඇති බවත්, තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමට ඔහු විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමේ ඉඩකඩක් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මඟින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බව පවසන ගෝඨාභය රාජපක්ෂ, අභියාචනාධිකරණයෙන් පහත සඳහන් නියෝග ඉල්ලා සිටී:

– හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ චැනල් 4 ප්‍රකාශය පිළිබඳ සොයාබැලීමට පත්කළ කොමිසමේ වාර්තා අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කිරීම
– මෙම විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වළක්වාලන රිට් ආඥාවක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කිරීම
– පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් (Interim Injunction) නිකුත් කිරීම.