June 16, 2026

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන් සීමාවන් හේතුවෙන්, ශ්‍රී ලාංකික කලාකරු සංගීත් විජේසූරියගේ හිතවතුන් සම්බන්ධ යැයි කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක පරිත්‍යාගයක් තමන් ප්‍රතික්ෂේප කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කර තිබේ.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු අවධාරණය කළේ, තමන් ප්‍රකාශ කළ බවට පළවන එම අදහස් ‘සම්පූර්ණයෙන්ම වැරදි’ සහ නොමඟ යවන සුළු ඒවා බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් තමන් කලාකරු සංගීත් විජේසූරිය හෝ ඔහුගේ හිතවතුන් හමුවී නොමැති බවත්, එවැනි පරිත්‍යාගයන් පිළිබඳව කිසිදු අදහස් දැක්වීමක් සිදුකර නොමැති බවත් ඔහු පැහැදිලි කළේය.

පසුගිය මැතිවරණ ප්‍රචාරක රැලිකදී තමන්ට සංගීත් විජේසූරිය හමු වී තිබුණද, ඉන් පසුව ඔවුන් හමු වී නොමැති බව ඇමතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

“අපි ප්‍රකාශ නොකළ අදහස් පවා සමාජ මාධ්‍යවල බෙදාහරිමින් සංසරණය වන බව අපට පෙනෙන්නට තිබෙනවා. සමහර වෙලාවට ඒවා අපි නොකළ දේවල්, තවත් සමහරක් වැරදි ප්‍රකාශ. මම මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් ප්‍රකාශ කරලා නැහැ” යැයි ඔහු පැවසීය.

සැබෑ තත්ත්වය සංගීත් විජේසූරියගෙන්ම සෘජුවම පැහැදිලි කරගත යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, අන්තර්ජාලය ඔස්සේ පැතිර යන වැරදි තොරතුරු නිසා මෙම තත්වය විකෘති වී ඇති බවද සඳහන් කළේය.

මෙම අරමුදල් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමන්ව සම්බන්ධ කරමින් කෙරෙන ප්‍රකාශ පදනම් විරහිත බව ඔහු නැවතත් අවධාරණය කළේය.