June 16, 2026

චෙම්මනි සුසාන භූමියේ ඊයේ කළ කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 10 ක අස්ථි කොටස් හමු වී ඇති අතර, සමූහ මිනීවළෙන් ගොඩගත් මුළු සිරුරු සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබේ.

එය මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් වාර්තා වූ විශාලතම සමූහ මිනී වළ ලෙස සැලකේ.

මීට පෙර, මන්නාරමේ පැරණි සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ තිබී පුද්ගලයින් 342 දෙනෙකුගේ දේහයන් මතුකර ගත් සමූහ මිනී වළ, උතුරු පළාතේ හඳුනාගත් විශාලතම සමූහ මිනී වළ ලෙස සැලකුණි.

අතුරුදන් වූවන්ගේ පවුල් නියෝජනය කරන නීතිඥ වී.කේ. නිරන්ජන් පැවසුවේ කැණීම්වල හයවන අදියරේ 25 වැනි දිනය වන විට මළ සිරුරු 360 ක අස්ථි කොටස් හඳුනාගෙන ඇති බවත්, ඉන් 351 ක් මේ වන විට ගොඩගෙන ඇති බවත්ය.

කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරවනන් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමකගේ සහාය ඇතිව යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහි කැණීම් කටයුතු සිදු කෙරේ.

2026 අප්‍රේල් 27 වන දින සිට, හයවන අදියරේදී පමණක් මළ සිරුරු 112 ක දේහයන් සොයාගෙන තිබේ.

සියලුම අස්ථි කොටස් සහ භාණ්ඩ අධිකරණ නියෝග යටතේ යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය පීඨයේ ආරක්ෂිතව තබා ඇත.