June 16, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු වඩාත් විධිමත් කරමින් දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 23ක් අලුතින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මේ වසරේ දෙසැම්බර් මාසය වන විට මෙම සියලුම ප්‍රාදේශීය කාර්යාල විවෘත කර අවසන් කරන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කළේය.

මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සහ සාක්ෂි ලබාදීමට රටේ විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාවට කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයටම පැමිණීමට සිදුව තිබිණි.

මෙමඟින් ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන නව ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමට තීරණය කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම නව කාර්යාල ජාලය හරහා ප්‍රාදේශීය මට්ටමින් පැමිණිලි භාර ගැනීම, විමර්ශන සිදුකිරීම සහ නඩු පැවරීම ඇතුළු කාර්යයන් රැසක් ඉටු කිරීමට නියමිතය.

මේ සඳහා නීති නිලධාරීන් සහ නිවාරණ නිලධාරීන් ඇතුළුව සමස්ත නිලධාරීන් 971 දෙනෙකුගෙන් යුත් පිරිසක් අලුතින් අනුයුක්ත කිරීමටද කටයුතු සූදානම් කර ඇත.