June 14, 2026

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ නීස් (Nice) නුවරදී ‘භාරත් ඉනොවේට්ස්’ වැඩසටහන ආරම්භ කරමින් සුහදශීලී ලෙස ‘සෙල්ෆි’ ඡායාරූපයකට පෙනී සිටි අතරම, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා අතිශය වැදගත් සාකච්ඡාවල ද නිරත වූහ.

ආර්ථික වර්ධනය, තාක්ෂණය, නවෝත්පාදනය, කුසලතා සංචලතාව සහ සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මෙම වසරේ මුල් භාගයේදී ඉන්දියා – ප්‍රංශ සබඳතා ‘විශේෂ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයක්’ දක්වා ඉහළ නැංවීමෙන් පසු නායකයන් දෙපළ පැවැත්වූ පළමු ද්විපාර්ශ්වික සාකච්ඡාව මෙය වේ.

නීස් නුවර පිහිටි ‘විලා කෙරිලෝස්’ හිදී පැවැති මෙම හමුවේදී දෙරටේම ප්‍රයෝජනය පිණිස පවතින පුළුල් පරාසයක සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව නායකයෝ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්හ.

දෙරට අතර අභ්‍යවකාශ ක්ෂේත්‍රය තුළ පවතින දිගුකාලීන සහයෝගීතාව මෙහිදී අගය කළ නායකයෝ, මිනිසුන් සහිත අභ්‍යවකාශ චාරිකා සහ අභ්‍යවකාශ තත්ත්ව පිළිබඳ දැනුවත්භාවය යන අංශයන්ගෙන් සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට සාකච්ඡා කළහ.

මීට අමතරව, අභ්‍යවකාශ ක්ෂේත්‍රයට අදාළ වැඩසටහන් සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය වැඩි වශයෙන් ලබාගත හැකි අවස්ථා පිළිබඳව ද නායකයන් දෙපළගේ විශේෂ අවධානය යොමු විය.