June 15, 2026

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා ඉලෙක්ට්‍රොනික ගාස්තු එකතු කිරීමේ (ETC – Electronic Toll Collection) ක්‍රමවේදය භාවිත කරන රියදුරන් සඳහා සෑම ගමන් වාරයකදීම නියමිත ගාස්තුවෙන් සියයට 10ක විශේෂ වට්ටමක් ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම ETC පහසුකම භාවිත කරන්නන් වෙනුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට සහ පිටවීමට වෙන්වූ වෙනමම මංතීරු සලසා දී ඇති බැවින්, කිසිදු ප්‍රමාදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව පවතී.

මේ වනවිට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා-ඇල සහ කටුනායක යන අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලදී මෙම ETC පහසුකම මඟින් ගෙවීම් කළ හැකි අතර, ඉදිරියේදී කඩවත සිට පිටත වටරවුම් මාර්ගය හරහා කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන වෙනුවෙන් කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී ද මෙම පහසුකම ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙතෙක් ETC පහසුකම ලබාගැනීමේදී වාහන හිමිකරුවන්ට ස්ථාන කිහිපයකටම යාමට සිදුවීම නිසා විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය.

ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව www.exway.rda.gov.lk වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් ETC සඳහා ලියාපදිංචි වීමේ නව පහසුකමක් හඳුන්වා දී තිබේ.

මේ යටතේ වාහන හිමිකරුවන්ට වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී, තමන්ට ආසන්නතම හෝ පහසුම හුවමාරු මධ්‍යස්ථානයකින් RFID Tag එක ලබාගත හැක.

ඉන්පසුව අදාළ වෙබ් අඩවිය හෝ Govpay යෙදවුම (App) හරහා තමාගේ බැංකු කාඩ්පත මඟින් ETC ගිණුමට මුදල් බැර කරගත හැක (Top up).

මෙමඟින් අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී අදාළ ගමන් ගාස්තුව ස්වයංක්‍රීයවම අයකර ගන්නා බැවින්, මුදල් හෝ කාඩ්පත් මඟින් ගෙවීමට පෝලිම්වල රැඳීසිටීමට අවශ්‍ය නොවේ.

කිසිදු බාධාවකින් තොරව මෙම පහසුකම භාවිත කිරීම සඳහා, අධිවේගී මාර්ගයේ ඇතුළුවීමේ සහ පිටවීමේ ගේට්ටු අසලදී වාහනයේ වේගය පැයට කිලෝමීටර් 15 ක් (15 km/h) ලෙස පවත්වා ගන්නා ලෙසත්, ඉදිරියෙන් ඇති වාහනය සමඟ මීටර් 20 ක පරතරයක් තබාගන්නා ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, මෙම සේවාව පිළිබඳව මඟීන් සහ රියදුරන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද අද දින සංවිධානය කර තිබිණි.

මෙම ETC පහසුකමට අමතරව සාමාන්‍ය පරිදි මුදල් හෝ කාඩ්පත් මඟින් ගාස්තු ගෙවීමේ පහසුකම් ද අධිවේගී මාර්ගය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.