June 15, 2026

බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටළීමකදී යතුරුපැදි චැසි සහ ඇන්ජින් 42ක මහාපරිමාණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජනක කරුණාසිංහගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටළීම දියත් කර ඇත.

මෙම මෙහෙයුමේදීම අදාළ බහාලුම තුළ සඟවා තිබූ ඉහළ වටිනාකමකින් යුත් ජපන් මත්පැන් බෝතල් 190ක් ද සොයාගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ජපානයේ සිට යතුරුපැදි අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මෙම භාණ්ඩ තොගය නීතිවිරෝධී ලෙස දිවයිනට ගෙන්වා ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.