June 11, 2026

‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත හානියට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස, ශ‍්‍රී ලංකා රජය 2025 දෙසැම්බර් මුල් භාගයේදී ”ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල” (Rebuilding Sri Lanka Fund) ප‍්‍රකාශයට පත් කළේය. මිනිස් ජීවිත සිය ගණනක් බිලිගනිමින්, පුද්ගලයන් 233,000 කට අධික පිරිසක් අවතැන් කරමින් සහ ගොඩනැඟිලි, කෘෂිකර්මාන්තය මෙන්ම තීරණාත්මක යටිතල පහසුකම්වලට දැඩි හානි පමුණුවමින් දිත්වා සුළි කුණාටුව දැඩි විනාශයක් ඇති කළේය. ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති පරිදි 2025 දෙසැම්බර් 22 වන දින වන විට ඉන් සිදු වූ සෘජු භෞතික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 කි.

මෙම අර්බුදය තුළදී රට යළි ගොඩනැඟීමේ වගකීම රජය සතු වූ අතර, එම වගකීම ඉදිරියටත් අඛණ්ඩව නොපිරි හෙළා ඉටු කළ යුතු බවට අපි තරයේ විශ්වාස කරමු. පසු ආපදා කළමනාකරණ සන්දර්භය තුළ, සම්පත් වෙන්කිරීම් උපරිම කාර්යක්ෂමතාවයකින් සිදු කිරීම සහ වැරදි තොරතුරු ප‍්‍රචාරය වීම අවම කිරීම තහවුරු කරමින්, විපතට පත්වූවන්ගේ දුක්ගැහැට සමනය කිරීමේ මූලික අරමුණ ඇතිව, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ මූලධර්ම ඉහළම ප‍්‍රමිතියෙන් යුතුව සුරැකීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, පසු ආපදා කළමනාකරණය සහ සහන සේවා හැසිරවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව සතු කැළැල් සහිත ඉතිහාසය, ඒ කෙරෙහි මහජන විශ්වාසය දැඩි ලෙස බිඳවැටීමට හේතු වී ඇත. අවාසනාවන්ත ලෙස 2025 අගභාගය වන විට පසු ආපදා කළමනාකරණය පිළිබ`ද ප‍්‍රකාශිත දත්ත තුළින් පෙනී යන්නේ ‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති කරන ලද හානි කළමනාකරණය තුළද පෙරට පෙර ආපදා තත්ත්ව කළමනාකරණයේදී පැවති ගැටලූ වැඩි වෙනසක් සිදුව නොමැති බවයි.

මෙම සන්දර්භය තුළ, ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල සම්බන්ධයෙන් පිළිතුරු නොලැබුණු ප‍්‍රශ්න කිහිපයක් පැනනැඟී ඇත. එම ප‍්‍රශ්න අතරථ මෙම අරමුදල නිල වශයෙන් පිහිටුවා තිබේදත මේ වන විට ලැබී ඇති මුදල් ප‍්‍රමාණය කොපමණදත එහි කළමනාකාරිත්වය පැවරී ඇත්තේ කාහටද සහ මේ අරමුදලෙහි ප‍්‍රතිපාදන කිසිවක් මේ වන විට ප‍්‍රයෝජනයට ගෙන තිබේද යන ප‍්‍රශ්න අන්තර්ගත විය. ගොඩනැගී ඇති මෙම ප‍්‍රශ්න සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අරමුදල් බෙදාහැරීම, කළමනාකරණ විධිවිධාන, අධීක්ෂණ සහ විගණන යාන්ත‍්‍රණයන් මෙන්ම ඒ හා සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳ තොරතුරු ඉල්ලා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා (TISL)ආයතනය විසින් 2026 මාර්තු 05 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI)යටතේ ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, ඒ සඳහා ලැබුණු පිළිතුරු මඟින් ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා වෙනුවට තවත් ප‍්‍රශ්න රාශියක් මතු වූ අතර, රාජ්‍ය අරමුදල් කළමනාකරණයට සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමට දැඩි බලපෑමක් එල්ල කරන පරස්පරතාවන් රැසක් ද ඉන් අනාවරණය විය.

මෙම අරමුදල සම්බන්ධයෙන් වගකියන්නේ කවුරුන් ද ?

පැනනඟින පළමු ප‍්‍රශ්නය ඉතාම මූලික මට්ටමේ එකකි. එනම්, 2025 දෙසැම්බර් 1 දිනැති කැබිනට් තීරණවලට අනුව, මෙම අරමුදල සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද යන්නයි. මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක‍්‍රියාත්මක වන, ලැබෙන අරමුදල් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම්වලට බැර කෙරෙන ව්‍යවස්ථාපිත අරමුදලකි. කෙසේ වෙතත්, අනෙකුත් රාජ්‍ය ලේඛන මඟින් මෙම අරමුදල වෙනස් ආකාරයකින් විස්තර කර ඇත. විශේෂයෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත් කරන ලද “පසු ආපදා අවශ්‍යතා තක්සේරුව” මඟින් මෙම අරමුදල හඳුන්වා දී ඇත්තේ “ර්‍මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින මධ්‍යම මූල්‍යකරණ යාන්ත‍්‍රණයක්” ලෙසය. මෙය ඉතා වැදගත් වන්නේ, අරමුදල පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය මත එහි කළමනාකරණය, වාර්තාකරණය, විගණනය සහ භාවිතය පිළිබඳව වගකිය යුත්තේ කවුද යන්න තීරණය වන බැවිනි. සරලවම, නැවත ගොඩනැඟීමේ නාමයෙන් එකතු කරන ලද රුපියල් බිලියන ගණනක මුදලට වගඋත්තර බැඳිය යුත්තේ කවුද යන්න මෙයින් තීරණය වේ.

කෙසේ වෙතත්, මෙම අරමුදලේ පාලනය භාර දී ඇති පුද්ගලයන් කවුද යන්න පිළිබඳව යම් පැහැදිලි බවක් පවතී. 2025 දෙසැම්බර් 31 දිනැති ගැසට් නිවේදනයක් මඟින්, මෙයටට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද “ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල් පාලක කාරක සභාව” “ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ මුදල් හා අරමුදල් පිළිබඳ කාරක සභාව” ලෙස නිල වශයෙන් ස්ථාපිත කරන ලදී. මෙම කාරක සභාවට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ ප‍්‍රමුඛ පෙළේ නියෝජිතයන් ද ඇතුළත් වේ. ඒ අනුව, මෙම අරමුදල පවතින්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේද, මුදල් අමාත්‍යාංශය යටතේද, නැතහොත් භාණ්ඩාගාරයට සම්බන්ධ අතුරු ගිණුමකද යන්න පිළිබඳව පවතින අපැහැදිලි තත්ත්වය කුමක් වුවත්, අරමුදලේ ගනුදෙනු නිසි ලෙස වාර්තා කිරීම, එය විනිවිදභාවයෙන් යුතුව කළමනාකරණය කිරීම සහ පැහැදිලි වාර්තාකරණ, විගණන හා අධීක්ෂණ යාන්ත‍්‍රණවලට යටත් කිරීම සහතික කිරීමේ වගකීම මෙම පාලක කාරක සභාවේ සාමාජිකයන් සතු වේ.

අරමුදලේ නීත්‍යානුකූල පදනම කුමක්ද?

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා (TISL) ආයතනය වෙත පිළිතුරු දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කර සිටියේ, රාජ්‍ය මුදල් කළමනාකරණ පනත යටතේ ආපදා සහන සහ යළි ගොඩනැඟීම් සඳහා වන විශේෂිත අරමුදලක් පාර්ලිමේන්තු පනතක් මඟින් අනුමත කළ යුතු බවයි. එමෙන්ම, ව්‍යවස්ථාදායක ක‍්‍රියාවලිය සඳහා කාලය ගතවන බැවින්, දායකත්වයන් ලබාගැනීම වෙනුවෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවතින ගිණුම් හරහා අතුරු විධිවිධානයක් හඳුන්වා දී ඇති බවත්, එම මුදල් ඒකාබද්ධ අරමුදල හරහා හෝ අදාළ විශේෂිත අරමුදල පිහිටුවීමෙන් පසු ඒ හරහා හෝ භාවිත කිරීමට නියමිත බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙම ස්ථාවරය පසුව, 2025 ජුනි 05 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ සිදු කරන ලද අනාවරණයන්ගෙන් ද පිළිබිඹු වූ අතර, එහිදී වාර්තා වූයේ “ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල” මෙතෙක් ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස නිල වශයෙන් පිහිටුවා නොමැති බවත්, මේ දක්වා ලැබී ඇති ආධාර මුදල් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා යටතේ ඇති විශේෂ ගිණුමක පවතින බවත්ය. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ අසාමාන්‍ය තත්ත්වයකිග එනම්, යම් අරමුදලක නාමයෙන් ආධාර එකතු කර ඇති අතර, එය අධීක්ෂණය කිරීම සඳහා පාලක කාරක සභාවක් ද පත් කර ඇතත්, එම අරමුදල ක‍්‍රියාත්මක විය යුතු නෛතික රාමුව (ක‍්‍රමවේදය) තවමත් නිමවා නොමැති වීමයි.

මෙම නෛතික අපැහැදිලිභාවය හුදෙක් තාක්ෂණික කරුණක් පමණක් නොවේ. එමඟින්, වියදම් අනුමත කිරීමට බලය ඇත්තේ කාටද, අරමුදල් බෙදාහැරීම පාලනය කරන්නේ කුමන රීති මඟින්ද, අදාළ වන විගණන සහ වාර්තාකරණ අවශ්‍යතා මොනවාද, සහ මුදල් අවභාවිත වුවහොත් හෝ ප‍්‍රයෝජනයට නොගතහොත් මහජනතාවට තීරණ ගනු ලබන පාර්ශව වගකීමට බැඳ තබාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව මූලික ප‍්‍රශ්න මතු කරයි.

මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ, 2005 අංක 13 දරන ශ‍්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත යටතේ ආපදාවලට අදාළ අරමුදල් සඳහා නෛතික රාමුවක් දැනටමත් ශ‍්‍රී ලංකාව සතුව පවතින බැවිනි. එම පනත මඟින්, ඕනෑම නීත්‍යානුකූල මාර්ගයකින් ලැබෙන ණය, ආධාර, තෑගි හෝ ප‍්‍රදාන ඇතුළුව, ආපදා කළමනාකරණය සඳහා වන ජාතික සභාව යටතේ අරමුදලක් පිහිටුවීමට ප‍්‍රතිපාදන සලසා ඇත. එම ක‍්‍රමවේදය හරහා හසුරුවනු ලබන අරමුදල් ව්‍යවස්ථාපිත විගණන අවශ්‍යතාවලට ද යටත් වන බැවින්, එය විනිවිදභාවය සහ වගවීම සඳහා වඩාත් පැහැදිලි මාවතක් සපයයි.

එබැවින්, පවතින නෛතික මාවත් දෙකෙන් කිසිවක් සම්පූර්ණ කර නොමැති වීම නිසා මෙම අවිනිශ්චිතතාවය පැනනඟී. එනම්, මෙම අරමුදල් දැනට පවතින ආපදා කළමනාකරණ පනත් රාමුව තුළට ගෙනවිත් නොමැති අතර, පොදු මුදල් කළමනාකරණ පනත යටතේ නව ව්‍යවස්ථාපිත අරමුදලක් පිහිටුවා ද නැත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, මෙම මුදල් පාලනය කරන්නේ කවුද, ඒ සඳහා බලපාන රීති මොනවාද, සහ එහි ලැබීම් සහ භාවිතය තහවුරු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව පිළිතුරු නොලැබුණු වැදගත් ප‍්‍රශ්න රැසක් මතු වේ.

ලැබී ඇති ආධාර පිළිබඳව අපි දන්නේ මොනවාද ?

ජාත්‍යන්තර මෙන්ම දේශීය ප‍්‍රභවයන්ගෙන් ලැබුණු අරමුදල් පිළිබඳ විස්තර ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා (TISL) ආයතනය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී. එයට ප‍්‍රතිචාර වශයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලැබුණු ආධාරවල සවිස්තරාත්මක තොරතුරු ලබා නොදුන් අතර, අදාළ ආධාර මුදල් නිශ්චිත බැංකු ගිණුම්වලට බැර කර ඇති බව පමණක් ප‍්‍රකාශ කරමින්, ගනුදෙනුවල වැඩිදුර විස්තර ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගන්නා ලෙස TISL ආයතනයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, වෙනත් තොරතුරු ඉල්ලූම්කරුවෙකු විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගෙන පසුව ප‍්‍රසිද්ධ කරන ලද වෙනත් තොරතුරු දැනගැනීමේ අයිතිය ඔස්සේ ලබාගත් නිල පිළිතුරක් (RTI) මඟින්, දේශීය හා විදේශීය ප‍්‍රභවයන්ගෙන් ලැබී ඇතැයි කියනු ලබන මුළු මුදල් ප‍්‍රමාණ අනාවරණය කර ඇති බව පෙනේ. එම පිළිතුරෙහි වැඩිදුරටත් සඳහන් වී තිබුණේ තනි තනි ආධාරකරුවන් සහ දායකයන් පිළිබඳ විස්තර ලබාගත නොහැකි බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය TISL ආයතනය මගින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීමේ ලිපියට ප‍්‍රතිචාර දැක්වීමේදී එම මට්ටමේම තොරතුරු ලබා නොදීම නිසා, මෙමඟින් තවත් ප‍්‍රශ්න රාශියක් මතු වේ.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පිළිතුර හේතුවෙන් මේ පිළිබඳව තවත් ව්‍යාකූලත්වයක් මතු වේ. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා (TISL) ආයතනයේ තොරතුරු දැනගැනීමේ (RTI) ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් එම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ, දේශීය මෙන්ම විදේශීය ප‍්‍රභවයන්ගෙන් ලැබුණු අරමුදල් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව යන බැංකුවල පවත්වාගෙන යනු ලබන භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ බැංකු ගිණුම්වලට බැර කර ඇති බවයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුරටත් විමසීමේදී එම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර සිටියේ, අදාළ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමේදී තැන්පත්කරුවන් විසින් ප‍්‍රමාණවත් තොරතුරු සපයා නොතිබීම හේතුවෙන් එම තැන්පතු වර්ගීකරණය කිරීම අපහසු වී ඇති බවයි.

සරලවම විස්තර කරන්නේ නම්, එක් රාජ්‍ය ආයතනයක් ආධාර පිළිබඳ වැඩිදුර විස්තර සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු වන ලෙස TISL ආයතනයට දැනුම් දෙන අතර, තවත් ආයතනයක් මෙම මුදල් භාණ්ඩාගාරයට සම්බන්ධ ගිණුම්වල පවතින බව තහවුරු කරයි. නමුත් තැන්පත්කරුවන් ප‍්‍රමාණවත් තොරතුරු සපයා නොමැති නිසා එම තැන්පතු පැහැදිලිව හඳුනා ගැනීමට හෝ වර්ගීකරණය කිරීමට නොහැකි බව පවසයි. මෙයින් මූලික මෙන්ම වැදගත් ප‍්‍රශ්න කිහිපයක්ම පිළිතුරු නොලැබී ඉතිරි වේ එනම්, මුදල් ලබාදුන්නේ කවුද, කොපමණ මුදලක් ලබාදී තිබේද, සහ එම මුදල් සොයායෑම සිදු කරන්නේ කෙසේද යන්නයි.

ලැබී ඇති සහ වියදම් කර ඇති මුදල් ප‍්‍රමාණය කොපමණද?

ප‍්‍රධානතම ගැටලූව පවතින්නේ මෙතැනය. “ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල” සම්බන්ධයෙන් ලැබී ඇති සහ වාර්තා වී ඇති අනාවරණයන් මඟින්, සැබවින්ම කොපමණ මුදලක් ලැබී ඇත්ද, එම මුදල් හරියටම රඳවා තබා ඇත්තේ කොතැනකද, හෝ ඉන් කිසිවක් ප‍්‍රයෝජනයට ගෙන තිබේද යන්න පිළිබඳව පැහැදිලි හෝ ස්ථාවර චිත‍්‍රයක් කිසිවෙක් ඉදිරිපත් නොකරයි. රූප සටහන් – 01 හි දක්වා ඇති පරිදි, මේ වන විට එකිනෙකට වෙනස් සංඛ්‍යාලේඛන තුනක් සංසරණය වෙමින් පවතී. එනම්, 2026 මාර්තු 31 වන දින වන විට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් TISL ආයතනය වෙත අනාවරණය කරන ලද රුපියල් බිලියන 12.9 ක මුදලත 2026 මැයි 27 වන දින වෙනත් පුද්ගලයෙකු විසින් ප‍්‍රසිද්ධ කරන ලද වෙනම තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ලබා දුන් තොරතුරු අනුව අනාවරණයක දැක්වෙන ආසන්න වශයෙන් රුපියල් බිලියන 9.8 ක මුදලක සහ 2026 අප්‍රේල් 24 වන දින වන විට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළ රුපියල් බිලියන 9.583 ක මුදලයි. මෙම සංඛ්‍යාලේඛන මෙතෙක් ප‍්‍රසිද්ධියේ සංසන්දනය කර එකඟතාවයකට පැමිණ නොමැත.

 

රූප සටහන 1 – ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල වෙත ලැබී ඇති බවට වාර්තා වන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස්ව අනාවරණය කර ඇති එකතු

මෙහි ඇති ගැටලූව වන්නේ හුදෙක් මෙම සංඛ්‍යාලේඛන එකිනෙකට වෙනස් වීම පමණක් නොවේ. විපතට පත් වූ ජනතාව තවමත් සහන, නැවත පදිංචි කිරීම් සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර ලැබෙන තෙක් බලා සිටින මොහොතක, මෙම වෙනස්කම් දක්නට ලැබෙන්නේ ආපදා පසුකාලීන ප‍්‍රතිසාධනය සඳහා මහජනතාවගෙන් එකතු කරන ලද ආධාර මුදල් සම්බන්ධයෙන් වීමයි. මෙම වෙනස්කම් ඇති වී තිබෙන්නේ වාර්තා කළ දින වකවානුවල වෙනස්කම්, විවිධ බැංකු ගිණුම් භාවිතය, විදේශ විනිමය අනුපාතිකයන් හැසිරවීම, ඇතුළත් නොකළ අරමුදල් කාණ්ඩ හෝ අසම්පූර්ණ තොරතුරු අනාවරණය කිරීම් නිසාද යන්න රජය පැහැදිලිව ප‍්‍රකාශ කර නැත. එවැනි පැහැදිලි කිරීමකින් තොරව, මෙම අරමුදලේ සැබෑ පරිමාණය නිවැරදිව තක්සේරු කිරීමට හෝ පරිත්‍යාග කරන ලද මුදල් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට මහජනතාවට අර්ථවත් ලෙස මැදිහත් විය නොහැක. කිසියම් මුදලක් වියදම් කර තිබේද නැතහොත් නිදහස් කර තිබේද යන්න සම්බන්ධයෙන් ද මෙවැනිම පරස්පරතාවයක් මතු වේ.

රූප සටහන් – 02 හි දක්වා ඇති පරිදි, ජනාධිපති ලේකම් කාර්යාලය TISL ආයතනයට දැනුම් දුන්නේ මේ දක්වා මෙම අරමුදල්වලින් කිසිදු වියදමක් සිදු කර නොමැති බවයි. කෙසේ වෙතත්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව පසුව අනාවරණය කළේ ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ’ ලැබීම්වලින් 2026 අප්‍රේල් 21 වන දින රුපියල් 500,000 ක මුදලක් ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර ඇති බවයි. එමෙන්ම, අරමුදලට ලැබුණු කිසිදු මුදලක් මෙතෙක් ප‍්‍රයෝජනයට ගෙන නොමැති බවත්, එම ආධාර මුදල් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමක පවතින බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවටද දැනුම් දී තිබුණි.

රූප සටහන 2 – කිසියම් මුදලක් වියදම් කර තිබේද නැතහොත් නිදහස් කර තිබේද යන්න පිළිබඳ පරස්පර තොරතුරු

මෙමඟින් බරපතළ කාරණා දෙකක් මතු කරයි. පළමුවැන්න නම්, කිසියම් අරමුදලක් සැබවින්ම ප‍්‍රයෝජනයට ගෙන තිබේද යන්න පිළිබඳව රාජ්‍ය බලධාරීන් පරස්පර විරෝධී පිළිතුරු ලබා දී ඇති බව පෙනී යාමයි. දෙවැන්න නම්, ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව වෙත මුදල් නිදහස් කිරීමට හේතු වූ අරමුණ මෙතෙක් අනාවරණය කර නොමැති වීමයි. මෙම පරස්පරතාවන් මඟින්, අදාළ අරමුදල එහි නෛතික තත්ත්වය, මුළු ලැබීම්, බෙදාහැරීම්, අරමුණ, අධීක්ෂණ යාන්ත‍්‍රණ හෝ වගවීම් ව්‍යුහයන් පිළිබඳව ප‍්‍රමාණවත් මහජන පැහැදිලිභාවයකින් තොරව, විනිවිදභාවයක් නොමැති අතුරු විධිවිධානයක් හරහා ක‍්‍රියාත්මක වන බවට පවතින පුළුල් සැකය තවදුරටත් තහවුරු කරයි.

තවමත් සොයා ගැනීමට නොමැති තොරතුරු මොනවාද ?

සංඛ්‍යාලේඛනවලින් ඔබ්බට යමින්, “ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල” කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික තොරතුරු ද TISL ආයතනයේ තොරතුරු දැනගැනීමේ ඉල්ලීම් මඟින් ඉල්ලා සිටියේය. දිස්ත‍්‍රික් මට්ටමින් සිදු කරන අරමුදල් වෙන්කිරීම්, අරමුදල් ලබාගන්නා ක‍්‍රියාත්මක කිරීමේ ආයතන හෝ රාජ්‍ය බලධාරීන්, විපතට පත් වූවන් සඳහා වන සුදුසුකම් විනිශ්චය කිරීමේ නිර්ණායක, සහ මෙම මුදල් භාවිතය නිරීක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති අධීක්ෂණ, වාර්තාකරණ, විගණන හෝ ඇගයීම් යාන්ත‍්‍රණයන් පිළිබඳ තොරතුරු ද එයට ඇතුළත් විය.

නමුත් මෙම විස්තර කිසිවක් ලබා දී නැත. ජනාධිපති ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේ අරමුදල් ප‍්‍රයෝජනයට ගත් පසු අදාළ දත්ත ලබා දිය හැකි බවයි. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ එම තොරතුරු තමන් සතුව නොමැති බව වන අතර, ඉල්ලා සිටින ලද සමහර තොරතුරු ජනාධිපති කාර්යාලය සතුව තිබිය හැකි බව පසුව යෝජනා කළේය. මෙහි අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ මෙම මුදල් වෙන් කරන්නේ කෙසේද, ඉන් ප‍්‍රතිලාභ ලබන්නේ කවුද, ගෙවීම් අනුමත කරන්නේ කවුද, හෝ මෙම අරමුදලේ භාවිතය ස්වාධීනව අධීක්ෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මහජනතාවට තවමත් දැකගත නොහැකි වීමයි.

දැන් සිදුවන්නේ කුමක්ද?

මේ වන විට පවතින ගැටලූව හුදෙක් පරිපාලනමය ප‍්‍රමාදයක් පිළිබඳ කරුණක් පමණක් නොවේ. එයට අමතරව ආපදා ප‍්‍රතිසාධනය නාමයෙන් එකතු කරන ලද රුපියල් බිලියන ගණනක මුදල්, මහජනතාවට තේරුම් ගත හැකි, තහවුරු කර ගත හැකි සහ සමීපව පරීක්ෂා කළ හැකි ආකාරයකින් රඳවා තබා ගන්නේද, කළමනාකරණය කරන්නේද සහ භාවිත කිරීමට ඉඩ තිබේද යන්න පිළිබඳව දැන් ප‍්‍රශ්නගතව ඇත. රජය විසින් ලැබී ඇති මුළු මුදල් ප‍්‍රමාණය වහාම ගළපා ප‍්‍රකාශයට පත් කළ යුතු අතර, එම මුදල් රඳවා තබා ඇත්තේ කොහේදැයි හඳුනාගෙන, කිසියම් අරමුදලක් නිදහස් කර හෝ ප‍්‍රයෝජනයට ගෙන තිබේද යන්න පැහැදිලි කර, එසේ කිරීමට ඇති නෛතික පදනම කුමක්දැයි පැහැදිලි කළ යුතුය. එමෙන්ම, පවතින ආපදා කළමනාකරණ පනත් රාමුව තුළට මෙම අරමුදල් ගෙන ඒම මඟින් හෝ පොදු මුදල් කළමනාකරණ පනතට අනුකූලව “ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ව්‍යවස්ථාපිත අරමුදලක්” වහාම නීතිගත කිරීම මඟින්, සුදුසුකම්, අරමුදල් වෙන්කිරීම්, ප‍්‍රසම්පාදන, අධීක්ෂණ, විගණන සහ ප‍්‍රසිද්ධ වාර්තාකරණය පිළිබඳ පැහැදිලි රීති ස්ථාපිත කළ යුතුය. තවදුරටත් පැවතිය නොහැක්කේ දැනට පවතින මෙම අවිනිශ්චිතතාවයයි. බිඳවැටුණු ජීවිත යළි ගොඩනැඟීම සඳහා ආධාර එකතු කරන විට සහ විපතට පත් වූ ජනතාව තවමත් සහන සහ නැවත පදිංචි කිරීම් ලැබෙන තෙක් බලා සිටින විට, ලැබුණු සෑම රුපියලක්ම, නිදහස් කළ සෑම රුපියලක්ම සහ ශ‍්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ නාමයෙන් ගනු ලැබූ සෑම තීරණයක් පිළිබඳවම නීත්‍යානුකූල, විනිවිදභාවයෙන් යුත් සහ ස්වාධීනව තහවුරු කළ හැකි ගිණුම්කරණ වාර්තාවක් මහජනතාව වෙත ඉදිරිපත් කිරීමට රජය බැඳී සිටී.

– දෙව්නි ඩයස්,
ජ්‍යෙෂ්ඨ නිලධාරිනි (උද්දේශන හා පර්යේෂණ)
Transparency International Sri Lanka

– රෙහාන් පෙරේරා,
නිලධාරි – (උද්දේශන හා පර්යේෂණ)
Transparency International Sri Lanka