June 4, 2026

චීන ඔත්තුකරුවන් විසින් LinkedIn ඇතුළු රැකියා වෙබ් අඩවි හරහා බ්‍රිතාන්‍ය රජයේ සහ ආරක්ෂක අංශවල නිලධාරීන් ඉලක්ක කර ගනිමින්, එරට රහසිගත සහ සංවේදී තොරතුරු ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන බව බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර බුද්ධි අංශය වන MI5 ආයතනය අනතුරු අඟවයි.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය යන රටවල් ඇතුළත් ‘ෆයිව් අයිස්’ (Five Eyes) බුද්ධි සන්ධානය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

බීජිං හමුදා බුද්ධි අංශයට අනුයුක්ත ඔත්තුකරුවන්, පෞද්ගලික සමාගම්වල හෝ පර්යේෂණ ආයතනවල නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය හරහා මෙම උපක්‍රමශීලී රැකියා බඳවා ගැනීම් සිදු කරන බව එම නිවේදනයේ දැක්වේ.

මෙම ඔත්තුකරුවන් විසින් විදේශ ප්‍රතිපත්ති හෝ ආරක්ෂක විශ්ලේෂකයන් වැනි සැබවින්ම නොපවතින ව්‍යාජ රැකියා අවස්ථා ප්‍රසිද්ධ කරනු ලබයි. ඉන් අනතුරුව, එම රැකියාවලට අයදුම් කරන පුද්ගලයන් ලවා රාජ්‍ය මට්ටමේ “පොදු ජනතාවට විවෘත නොවන” රහසිගත තොරතුරු ලබා ගැනීමට ඔවුන් දැඩි බලපෑම් එල්ල කරන බව බුද්ධි අංශ පවසයි.

ලෝකයේ වෙනත් රටවල පිහිටි නීත්‍යානුකූල සමාගම්වල මානව සම්පත් උපදේශකයන් ලෙස පෙනී සිටින චීන නියෝජිතයන්, බ්‍රිතාන්‍යයේ LinkedIn, Indeed සහ Upwork වැනි වෘත්තීයමය ජාල සහ රැකියා වෙබ් අඩවි ඔස්සේ මෙම ඉලක්කගත කිරීම් සිදු කරයි.

මෙහිදී ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ රාජ්‍ය රහස් වෙත සෘජුව හෝ වක්‍රව ප්‍රවේශ විය හැකි පුද්ගලයන් ය.

බුද්ධි අංශ පෙන්වා දෙන්නේ, අයදුම්කරුවෙකුට සෘජුවම රහසිගත තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැති වුවද, රජයේ ප්‍රතිපත්ති, හමුදා උපාය මාර්ග හෝ ඔවුන් සතු ශක්‍යතාවන් පිළිබඳ වෙනත් තොරතුරු හෙළිදරව් වීම පවා ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බවයි.