June 2, 2026

චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකු මෙන්ම එරට භූගෝලීය විද්‍යා ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ද වන 62 හැවිරිදි ෂෝ චෙන්ගු දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම අභ්‍යන්තර විනය හා අධීක්ෂණ ආයතනය වන ‘විනය පරීක්ෂණ පිළිබඳ මධ්‍යම කොමිසම’ ප්‍රකාශ කළේ ෂෝ රාජකාරී කටයුතු බරපතල ලෙස උල්ලංඝනය කිරීමේ සැකයක් මත මේ වන විට විශේෂ විමර්ශනයකට ලක් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳ කිසිදු සවිස්තරාත්මක තොරතුරක් මෙතෙක් අනාවරණය කර නොමැති බව හොංකොං හි සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

අසල්වැසි රටවල් සමඟ පවතින මුහුදු සීමා සහ දේශසීමා ආරවුල්වලදී චීනයේ සිතියම් විද්‍යාඥයින් ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරති.

මතභේදාත්මක ප්‍රදේශයන්හි අයිතිය තමන් සතු බව පෙන්වීම සඳහා චීනය සිය හිමිකම් ලකුණු කළ නිල සිතියම් නිරන්තරයෙන්ම භාවිත කරයි.

මීට අමතරව, පතල් කැණීම් ඇතුළු චීනයේ ස්වභාවික සම්පත් පවතින ප්‍රදේශ නිවැරදිව සිතියම්ගත කිරීමේදී ද මෙම විද්‍යාඥයින් ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ලබයි.