June 3, 2026

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ දකුණු දිල්ලි කලාපයේ පිහිටි අවන්හලක් සහ හෝටලයක් ඇතුළත් බහු මහල් ගොඩනැගිල්ලක අද (බදාදා) උදෑසන හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉතා කාර්යබහුල ‘මාල්වියා නගර්’ (Malviya Nagar) ප්‍රදේශයේ සිදුවූ මෙම ඛේදවාචකයෙන් තවත් 40කට අධික පිරිසක් බේරාගෙන අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.

බිම් මහලේ ‘ලෙමන් ග්‍රීන්’ (Lemon Green) නැමැති අවන්හලක් සහ ඉහළ මහල්වල හෝටලයක් පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ලේ ගින්න හටගෙන ඇත්තේ උදෑසන 9.00 ට පමණ ය.

ගින්නෙන් බේරීම සඳහා ඉහළ මහල්වල සිටි ඇතැම් පිරිස් ජනේලවලින් පහළට පැන ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් පාරට දමන ලද මෙට්ට මතට පතිත වීමෙන් ඔවුන් දිවි බේරාගෙන තිබේ.

මියගිය සහ තුවාල ලැබූවන් අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට පැමිණි විදේශිකයන් සිටින බවට දේශීය ජනමාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු ජාතිකයන් කිහිපදෙනකු මියගිය පිරිස අතර සිටින බවට කෙරෙන ප්‍රකාශ, බලධාරීන් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.

ගින්න සම්බන්ධයෙන් දැඩි කනගාටුව ප්‍රකාශ කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මියගිය අයගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් මූල්‍ය ආධාර ප්‍රකාශයට පත්කර ඇත.

දිල්ලි මහ ඇමතිනී රේඛා ගුප්තා ද වින්දිතයන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය සහ සහන සේවා සපයන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දිල්ලි පොලිසිය සහ ගිනි නිවන අංශ ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.