June 3, 2026

ඉරානය විසින් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අංක 1 මගී පර්යන්තය වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගුවන් තොටුපොළේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව කුවේට් බලධාරීන් ප්‍රකාශ කළේය.

කුවේට් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් සවුද් අබ්දුල්අසීස් අල්-ඔතයිබි මෙම ප්‍රහාරය හෙළා දකිමින් කියා සිටියේ, මෙය ගොඩනැගිල්ලට දැඩි දේපළ හානියක් සහ පුද්ගල තුවාල සිදු කළ අපරාධකාරී ඉරාන ආක්‍රමණයක් බවයි.

මේ අතර, ජුනි 2 වනදා ඉරානය විසින් මැදපෙරදිග කලාපය පුරා දියත් කිරීමට උත්සාහ කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන්, ඇමෙරිකානු හමුදාව විසින් Qeshm දූපත වෙත “ස්වයං-ආරක්ෂක” ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කළේය.

මධ්‍යම අණදෙන බලකායට අනුව, ඉරානය විසින් එල්ල කරන ලද සියලුම බැලස්ටික් මිසයිල ඒවායේ ඉලක්ක වෙත ළඟා වීමට අපොහොසත් වී ඇත.

“කුවේටය දෙසට ඉරානයෙන් දියත් කළ මිසයිල දෙකක් ඉලක්කයට පෙර කඩා වැටී හෝ ගමන් මඟෙහිදීම විනාශ වී ඇති අතර, බහරේනය දෙසට එල්ල කළ මිසයිල තුනක් ඇමෙරිකානු සහ බහරේන ගුවන් ආරක්ෂක බලකායන් විසින් වහාම වටලා විනාශ කර දමනු ලැබුවා,” යැයි අමෙරිකානු මධ්‍යම විධානය X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

නවතම වාර්තා අනුව ඉරානය විසින් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි අංක 1 මගී පර්යන්ත ගොඩනැගිල්ල වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ ගුවන් තොටුපොළේ සියලුම ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කුවේට් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් සවුද් අබ්දුල්අසීස් අල්-ඔතයිබි ප්‍රකාශ කළේ “ඉරානය විසින් දියත් කරන ලද අපරාධකාරී ආක්‍රමණශීලී ක්‍රියාව හේතුවෙන්, සතුරු ඩ්‍රෝන යානා කිහිපයක් අද දින කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අංක 1 මගී පර්යන්තය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළා. මෙයින් ගොඩනැගිල්ලට දැඩි දේපළ හානි සිදු වී ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙකු ද තුවාල ලැබුවා. තුවාල ලැබූ සියලුම දෙනා මේ වන විට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ කුවේට් සන්නද්ධ බලකායන් මේ වන විට පවතින තත්ත්වය දැඩි අවධානයකින් යුතුව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

එමෙන්ම ඉදිරියේදී සිදුවන ඕනෑම හදිසි වර්ධනයකට මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ උපරිම සන්නද්ධ සූදානමකින් පසුවන බව ද ඔහු කියා සිටියේය.