June 3, 2026

නත්තල් සීයාගේ නිවස ලෙස වඩාත් ප්‍රසිද්ධ, එමෙන්ම ‘නාර්නියා’ (Narnia) චිත්‍රපටයේ එන මායාකාරී ලෝකය සිහිගන්වන සුන්දර භූ දර්ශනවලින් හෙබි ෆින්ලන්තයේ ලැප්ලන්තය (Lapland) මෙවර සංචාරකයන්ට අපූරු ඇරියුමක් කර තිබේ.

ඒ, සුපුරුදු රේන්ඩියර් (reindeer) සවාරි වෙනුවට ගිම්හාන කාලය පුරා ක්‍රියාත්මක වන සැඟවුණු රන් සෙවීමේ මහා දඩයමකට (Gold Hunt) එක්වන ලෙසයි.

මේ යටතේ උතුරු ෆින්ලන්තයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක නිකේතනයක් වන ‘ලෙවී’ (Levi) හි මංතීරු සහ සන්ධිස්ථාන ඔස්සේ ගමන් කරමින් මෙම රන් දඩයමට සම්බන්ධ වීමට සංචාරකයින්ට අවස්ථාව ලැබෙයි.

ශීත ඍතුවේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා (Skiing) සහ උත්තර ධ්‍රැවීය ආලෝකය (Northern Lights) නැරඹීම සඳහා මෙම ප්‍රදේශය ලොව පුරා ප්‍රසිද්ධය.

මෙලෙස සැඟව ඇති රන් බාර් එකෙහි වටිනාකම යුරෝ 20,000ක් (ඇමෙරිකානු ඩොලර් 23,300ක් පමණ) වේ.

‘විසිට් ලෙවී’ (Visit Levi) ආයතනය පසුගිය අඟහරුවාදා නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ‘මධ්‍යම රාත්‍රී සූර්ය රන් දඩයම’ (Midnight Sun Hunt) ජූනි මස 18 වැනිදා ලෙවී අමුත්තන්ගේ මධ්‍යස්ථානයෙන් (Levi Visitor Centre) ආරම්භ වීමට නියමිතය.

තරගයට සහභාගී වන්නන්ට එම මධ්‍යස්ථානයෙන් සිය පළමු ඉඟිය ලබාගෙන තරගය සඳහා ලියාපදිංචි විය හැකිය.

ඉන් අනතුරුව, ප්‍රාදේශීය මංපෙත්, ආකර්ෂණීය ස්ථාන සහ සන්ධිස්ථාන ඔස්සේ තරගකරුවන්ව මෙහෙයවන ඉදිරි ඉඟි එකින් එක ලබා දෙන අතර, එමඟින් ඔවුන්ව සැඟවුණු රන් බාර් එක වෙත සමීප කරවනු ඇත.

ඕනෑම ඉඟියක් ඔස්සේ මෙම රන් බාර් එක සොයාගැනීමට තරගකරුවන්ට අවස්ථාව ඇති බව සංවිධායකයෝ පවසති.

ගිම්හාන කාලය පුරාම අතිරේක ඉඟි වරින්වර මුදාහැරීමට නියමිත අතර, එමඟින් රන් බාර් එක ඇති ස්ථානය හඳුනාගැනීම ක්‍රමයෙන් පහසු කරවනු ඇත.

මෙහි අවසාන ඉඟිය අගෝස්තු 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ආක්ටික් කලාපයට ඉහළින් පිහිටි ලෙවී ප්‍රදේශය ෆින්ලන්තයේ ප්‍රමුඛතම හිම මත ලිස්සා යෑමේ ගමනාන්තයක් මෙන්ම ශීත ඍතුවේදී අතිශය ජනප්‍රිය සංචාරක කලාපයකි.

කෙසේවුවද, ගිම්හාන මාසවලදී මෙම කලාපයට ‘මධ්‍යම රාත්‍රී සූර්යයා’ (Midnight Sun) දර්ශනය වන අතර, ඇතැම් කාලසීමාවන්හිදී ලැප්ලන්තයට පැය 24 පුරාම සූර්යාලෝකය ලැබීම විශේෂත්වයකි.

‘විසිට් ලෙවී’ ආයතනය මෙම ගිම්හාන කාල පරිච්ඡේදය හඳුන්වනු ලබන්නේ සංචාරකයන් විසින් මෙතෙක් නිසි ලෙස ගවේෂණය නොකළ, සැඟවුණු මැණිකක් (Hidden Gem) ලෙසයි.

යුරෝපය පුරා පිහිටි ශීත ඍතු සංචාරක කලාප රැසක්ම මේ වන විට සිය සංචාරක ආකර්ෂණ විවිධාංගීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර, ලෙවී හිම නිකේතනය ද ඉන් එකකි.

ඔවුන් දැන් ශීත ඍතුවෙන් බාහිරව පැරාග්ලයිඩින් (Paragliding), කඳු නැගීම (Hiking), ගංගා ආශ්‍රිත ඔරු පැදීම (River Rafting) සහ කඳුකර බයිසිකල් පැදීම (Mountain Biking) වැනි හිම රහිත වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සංචාරකයන් සඳහා පිරිනමයි.

මෙම අපූරු ‘මධ්‍යම රාත්‍රී සූර්ය රන් දඩයම’ සංවිධානය කරනු ලබන්නේ කිත්තිලා (Kittilä) හි පිහිටි ‘ඇග්නිකෝ ඊගල් ෆින්ලන්ඩ්’ (Agnico Eagle Finland) නම් රන් පතල් සමාගම සහ ‘ලෙවී ස්කී රිසෝට්’ (Levi Ski Resort) ආයතනය ඒකාබද්ධවය.

මේ සඳහා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන සියලුම තරගකරුවන්ට වගකීම් සහගතව හැසිරෙන ලෙසත්, අවසර ලත් සීමාවන් තුළ පමණක් රැඳී සිටිමින් ස්වභාවික පරිසරයට ගරුකරන ලෙසත් උපදෙස් දී තිබේ.

මෙම රන් දඩයම සඳහා කිසිදු ආකාරයකින් පොළොව හෑරීමක් හෝ පරිසර පද්ධතියට හානි කිරීමක් අවශ්‍ය නොවන බව ද සංවිධායකයෝ අවධාරණය කරති.