June 3, 2026

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක ණය වාරිකය ශ්‍රී ලංකා මහාභාණ්ඩාගාරය වෙත ලැබී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු තහවුරු කරයි.

පසුගිය මැයි 27 වැනිදා පැවැති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක සභා රැස්වීමේදී මෙම සමාලෝචන සඳහා අනුමැතිය හිමිවිය.

මෙම නවතම ණය වාරිකය ද සමඟින්, අදාළ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් මුදාහැර ඇති සමස්ත IMF මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇත.

මෙම මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමේ අනුමැතිය ප්‍රකාශයට පත්කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෑතකදී නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මැදපෙරදිග යුද ගැටුම් සහ ‘ඩිට්වා’ සුළිකුණාටුවේ බලපෑම ඇතුළු දේශීය හා ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය ‘සමස්තයක් ලෙස ශක්තිමත්’ මට්ටමක පවතින බවයි.

ලංකාව විසින් 2025 දෙසැම්බර් අග වන විට සපුරාගත යුතුව තිබූ සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායකයන් (quantitative performance criteria) සපුරා ඇති අතර, ව්‍යුහාත්මක මිණුම්දඬු (structural benchmarks) බහුතරයක් නියමිත පරිදි හෝ සුළු ප්‍රමාදයන් සහිතව ක්‍රියාත්මක කර ඇති බව ද IMF සංවිධානය පෙන්වාදෙයි.

එමෙන්ම, ඉන්ධන සහ විදුලි ගාස්තු පිරිවැය පියවා ගැනීමේ මිල සූත්‍ර ක්‍රමවේදයන් යළි ස්ථාපිත කිරීමට අදාළ පූර්ව කොන්දේසි ද ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කර ඇති බව එම අරමුදල තහවුරු කළේය.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තෙල් මිල ඉහළ යෑම සහ ගෝලීය අවිනිශ්චිතතාවන් හේතුවෙන් 2025 වසරේදී 5%ක් ලෙස පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2026 වසරේදී 3%ක් දක්වා මන්දගාමී වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි.

එමෙන්ම, 2026 වසරේදී උද්ධමනය 5%ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජංගම ගිණුමේ ශේෂය නැවතත් හිඟයක් දක්වා වර්ධනය වනු ඇතැයි ද ඇස්තමේන්තු කර තිබේ.

‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් පසු සිදුකරන ප්‍රතිසාධන කටයුතු සඳහා වන වියදම් ඇතුළු ආර්ථික කපොලුවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස 2026 වසරේදී මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම සුදුසු බව පවසන IMF සංවිධානය, කෙසේ වුවද 2027 වසරේ සිට ශ්‍රී ලංකාව නැවතත් සිය නියමිත මූල්‍ය ඉලක්කයන් වෙත අවතීර්ණ විය යුතු බව අවධාරණය කරයි.