June 2, 2026

වයස අවුරුදු 16ට අඩු පිරිස් සඳහා සමාජ මාධ්‍ය ජාලාවල ගිණුම් ආරම්භ කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට මැලේසියානු රජය පියවර ගෙන ඇති බව ‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කරයි.

මැලේසියානු සන්නිවේදන නියාමන ආයතනය විසින් පසුගිය සඳුදා (01) මේ බව නිල වශයෙන් තහවුරු කර තිබේ.

මෙම නව නීතිරීතිවලට අනුව, මෙටා (Meta) සමාගමට අයත් ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram), ටික්ටොක් (TikTok) මෙන්ම ගූගල් සමාගමේ යූටියුබ් (YouTube) යන සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කරන්නන්ගේ වයස රජය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත් වාර්තා මඟින් තහවුරු කර ගැනීම අනිවාර්ය වේ.

මෙම නීතිය උල්ලංඝනය කරන සමාජ මාධ්‍ය සමාගම් සඳහා රින්ගිට් මිලියන 10ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් පමණ) දක්වා දැඩි මුදල් දඩ පැනවීමටද රජය තීරණය කර ඇත.

කෙසේවෙතත්, වයස අවුරුදු 16ට අඩු දරුවන් සතුව දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් නොකෙරේ.

ඒ වෙනුවට, දැනටමත් එම සේවාවන් භාවිත කරන පරිශීලකයන්ගේ වයස තහවුරු කර ගැනීමේ තාක්ෂණික ක්‍රමවේදයක් (Age verification) සකස් කිරීම සඳහා ‘මැලේසියානු සන්නිවේදන සහ බහුමාධ්‍ය කොමිෂන් සභාව’ විසින් අදාළ සමාගම් වෙත මාස හයක සහන කාලයක් ලබා දී ඇත.

මෙම ප්‍රතිපත්තිය හඳුන්වාදී ඇත්තේ, තාරුණ්‍යය අන්තර්ජාලයෙන් ඈත්කිරීමට හෝ ඔවුන්ට තාක්ෂණය භාවිත කිරීමේ අයිතිය අහිමි කිරීමට නොවන බව එම කොමිෂන් සභාව පවසයි.

ඒ වෙනුවට, දරුවන් අන්තර්ජාලය තුළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අදාළ සමාජ මාධ්‍ය සමාගම්, දෙමාපියන් සහ භාරකරුවන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කිරීමට පෙළඹවීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.

සමාජ මාධ්‍ය පරිශීලනය හේතුවෙන් ළමුන්ගේ සහ තරුණ පරපුරේ මානසික සෞඛ්‍යයට මෙන්ම ආරක්ෂාවට එල්ල වන බලපෑම් පිළිබඳව ලොව පුරා රටවල් රැසක් අවධානය යොමුකර ඇත.

ඒ අනුව, බාලවයස්කරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නීතිමය සීමාවන් පැනවූ ලොව නවතම රට බවට මැලේසියාව පත්ව සිටී.