May 31, 2026

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මූලික අයිතිවාසිකම්, ගෞරවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිය වන එස්.බී.එම්.එස්.බී. සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති මෙම ලිපිය මඟින් ඇය ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යටතේ රැඳවුම් භාරයේ පසුවන තම ස්වාමිපුරුෂයා ඉන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඇය ඉල්ලා සිටින්නීය.

ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කිරීමට නොහැකි නම්, අවම වශයෙන් අධිකරණ අධීක්ෂණය යටතේ පවතින රක්ෂිත බන්ධනාගාරයකට මාරුකිරීමට කටයුතු කරන ලෙසද ඇය ඉල්ලා සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සුරේෂ් සලේට වධහිංසා පැමිණවීම් සහ අයුතු ලෙස සැලකීම් සිදු වී ඇති බව පවසන ඇය, ඒ පිළිබඳව ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

සිය ස්වාමිපුරුෂයා වෙනුවෙන් මීට පෙර පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ද ලිපි කිහිපයක් යොමුකළ බව සලේගේ බිරිය පවසයි.

එහෙත් එම නිලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙලෙස ජනාධිපතිවරයා වෙත සෘජුවම ලිපියක් යොමුකිරීමට පියවර ගත් බව ද ඇය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.