May 30, 2026

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, තමන් ධුරයෙන් ඉල්ලා අස්වීම මෑතකදී තමන්ට එරෙහිව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් සිදු වූවක් බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

තම සමුගැනීමේ උත්සවය අමතමින් මහාචාර්යවරයා සඳහන් කළේ, තමන්ට නැවත විශ්වවිද්‍යාල සේවයට වාර්තා කිරීමට ඇති බැවින්, පසුගිය වසරේ (2025) ඔක්තෝබර් මාසයේ සිටම ධුරයෙන් නිදහස් කරන ලෙස තමන් රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි බවයි.

එළඹෙන අධ්‍යයන වර්ෂය තමන් විශ්‍රාම ලැබීමට පෙර විශ්වවිද්‍යාලයේ සේවය කරන අවසන් වසර වන බැවින් මෙම තීරණය ගත් බව ඔහු පැහැදිලි කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට බොහෝ කලකට පෙර තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ අදාළ අමාත්‍යවරයාට අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබූ බවද හෙතෙම පැවසීය.

“අද බොහෝදෙනෙක් මට දුරකථනයෙන් ඇමතුම් ලබාදුන්නේ ඇයි කියා මම දන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ මගේ මේ තීරණය අතර කිසිදු සම්බන්ධයක් නැහැ. මම මීට මාස ගණනාවකට පෙර සිටම ඉල්ලා අස්වීමට අවසර ඉල්ලමින් සිටියේ,” යැයි ඔහු ප්‍රකාශ කළේය.

අයවැය යෝජනා සකස් කිරීම ඇතුළු අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය සහ ප්‍රධාන වගකීම් කිහිපයක් නිම කර දීම සඳහා තමන් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස ඉල්ලා අස්වීම කල්දැමූ බවද මහාචාර්යවරයා පෙන්වාදුන්නේය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත්කර සිටි ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද සේවයට වාර්තා කළ දිනයේම ඔහුගේ සේවය අවශ්‍ය නොවන බව දැනුම්දීමෙන් ඔහු දැඩි මානසික පීඩාවකට සහ අවමානයකට ලක්කර ඇති බවත්, එමඟින් මහාචාර්ය කපිල පෙරේරා ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි.

හිටපු ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම මෙම අධිකරණ තීන්දුවත් සමඟ සිදුවූවක් බවට ජනමාධ්‍ය වාර්තා පළ වූයේ ඒ අනුවය.

කෙසේවෙතත්, එම අධිකරණ තීන්දුව තම ඉල්ලා අස්වීමට අදාළ නොවන බව යළිත් අවධාරණය කළ මහාචාර්යවරයා, තමන්ට ධුරයෙන් ඉවත් වීමට අවසර ලබාදෙමින් සහයෝගය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයාට, අමාත්‍යවරුන්ට සහ අමාත්‍යාංශ නිලධාරීන්ට සිය ස්තූතිය පිරිනැමීය.