May 26, 2026

2025 වසරේ බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ 46 හැවිරිදි කාන්තාවක කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරය සඳහා යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කර වෙඩික්කරුවන් වෙත ලබා දී ඇත්තේ ඇය විසින් බවට පොලිසිය සැක කරයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටි බොරැල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණ වී ඇත.

ඔහුට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඔහුව මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මැයි 22 වැනිදා පොලිස් භාරයට ගන්නා ලදී.

ඔහු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටියි.

2025 අගෝස්තු 7 වැනිදා යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණය අසලදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබිණි.

ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, අපරාධය සඳහා යොදාගත් බව කියන යතුරුපැදිය ඉංගිරිය ප්‍රදේශයේ සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මීට අමතරව, පොලිසිය විසින් බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන සැකකරුට සම්බන්ධ පාළු නිවසක් වටලා එහි සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි දෙකක් සහ මිලිමීටර් 9 වර්ගයේ සජීවී පතොරම් 4ක් ද සොයා ගැනීමට සමත් වී තිබේ.