May 24, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන යසන්ත කෝදාගොඩ මෙම ධූරයට පත්කෙරෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ විශ්‍රාම යෑම හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ඇති වූ පුරප්පාඩුව වෙනුවෙනි.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පසුගිය සිකුරාදා (මැයි 22) පැවැති එහි නිල රැස්වීමේදී විනිසුරු කෝදාගොඩගේ මෙම නාමයෝජනාව සඳහා ඒකමතිකව අනුමැතිය ලබා දී ඇත.

විනිසුරු යසන්ත කෝදාගොඩ සිය නීති ජීවිතය ආරම්භ කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයකු ලෙසය.

එහිදී දිගු කලක් සේවය කළ ඔහු, පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදීම, සෘජුවම අභියාචනාධිකරණයේ සභාපති (ප්‍රධාන විනිසුරු) ධූරය සඳහා පත්කරනු ලැබීය.

අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී දැක්වූ දක්ෂතා සහ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගනිමින් ඔහුව පසුව මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස ද උසස් කරන ලදී.

අධිකරණ ක්ෂේත්‍රය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව තුළ ද දශක කිහිපයක පුළුල් අත්දැකීම් සමුදායකින් හෙබි විනිසුරු යසන්ත කෝදාගොඩගේ මෙම නව පත්වීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට හේතුවනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වාදෙති.